General03 October 2026

ශිෂ්‍යයින්ට කුමන හෝ පීඩා සිදුකිරීම නීතියට පටහැණියි - සාගර විශ්වවිද්‍යාලයේ අමානුෂික පීඩා පිළිබඳ හිරු CIA අනාවරණය ගැන නීති විශාරදයින් කියයි

මීගමුව සාගර විශ්වවිද්‍යාලයේ පාඨමාලා සඳහා සහභාගී වන ශිෂ්‍යයින්ට එහි දේශන සඳහා පැමිණෙන ගුරුවරයෙකු අමානුෂික ලෙස මානසික හා ශාරීරික පීඩා සිදුකරන බවට හිරු CIA ඊයේ තොරතුරු වාර්තා කළා. කෙසේ වෙතත්, විශ්වවිද්‍යාල සිසුන් මෙලෙස කිසිදු අයුරකින් වද හිංසාවලට ලක්කළ නොහැකි බවයි මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහනාම හේවා කියා සිටියේ.

මුල් ළමාවියේ සිට උසස් අධ්‍යාපනය දක්වා කිසිදු කායික හෝ මානසික පීඩාවලින් තොරව සිය අධ්‍යාපන කටයුතු නිදහසේ සිදුකිරීමට මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අයිතියක් පවතිනවා.

සිසුන් සතු එම අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් මීගමුව සාගර විශ්වවිද්‍යාලයේ දේශන සදහා පැමිණෙන ගුරුවරයෙකු සිසුන්ට අමානුෂික ලෙස පහරදෙන බවයි එම විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවෙකුගේ මවක් හිරු සී.අයි.ඒ.වෙත තොරතුරු හෙළි කළේ.

එම මව පවසන පරිදි මීගමුව සාගර විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ට කෘරත්වයෙන් සලකන්නේදැයි සෙවීමට අප එහි ළඟා වු අවස්ථාවේ දැකගත හැකිවුයේ අදාල දේශකයා විසින් දරුවන්ට බිම ඉදගන්නා ලෙස අණකර තවත් සිසුවෙකුට ඩිප්ස් ගසන ලෙස නියෝග කර ඇති අයුරුයි.

ශිෂ්‍යයන් පැවසුවේ දේශකවරයා පවසන ඩිප්ස් ප්‍රමාණය සම්පුර්ණ කළ නොහැකි සිසුන්ට කස පහර නමින් හදුන්වන දඩුවම් ක්‍රමයට මෙලෙස යටත්වීමට සිදුවන බවයි.

පහරදීම් සිදුකරන ඇතැම් අවස්ථාවලදී පහරදීමට යොදාගන්නා කොසුමිටවල් කැඩී යන අතර දරුවන්ට ශාරිරික තුවාල සිදුව ඇති අයුරු ද දැකිය හැකියි.

එමෙන්ම, දේශන ශාලා තුළදී පහර කෑමට අකමැති සිසුන්ට දේශන ශාලාවලින් පිට දණ ගසා ගෙන සිටීමට ද අදාල දේශකවරයා අණ කරන බවයි වාර්තා වන්නේ.
Related recommendation
Hiru TV News | Programmes