General03 October 2026

ලක්ෂ 225ක අයිස් සමග තරුණයෙක් කොටුවෙයි

රුපියල් ලක්ෂ 225කට ආසන්න වෙළෙඳපොළ වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දෙකකට වැඩි ප්‍රමාණයක් සමග තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.

ඒ කිරිඳිවැල ප්‍රදේශයේදී ගණේමුල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ විශේෂ මෙහෙයුමකදීයි.

කිරිඳිවැල, දික්කන්ද වත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක් පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති අතර, තරාදි දෙකක් සහ ජංගම දුරකථන දෙකක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නිවසේ කුලී පදනම මත පදිංචිව සිටි තරුණයෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මීට දින කිහිපයකට පෙර ගණේමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී ලැබුණු තොරතුරුවලට අනුව මෙම සෝදිසි කිරීම සිදු කර තිබුණා.

අත්අඩංගුවට පත් සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු කිරිඳිවැල ප්‍රදේශයෙන් නිවසක් කුලියට ගෙන මෙම මත්ද්‍රව්‍ය ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවයි හෙළි වී තිබෙන්නේ.

දැනට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින මිනුවන්ගොඩ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් සැකකරුට මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය ලබා දුන් බවයි සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කිරිඳිවැල පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිත බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes