General04 October 2026

හම්බන්තොට වරාය බහාලුම් මිලියනයේ කඩඉම ඉක්මවයි

හම්බන්තොට ජාත්‍යන්තර වරාය 2025 වසරේ සිට මේ දක්වා බහාලුම් ඒකක (TEU) 1,002,232ක් මෙහෙයවමින් බහාලුම් මිලියනයේ කඩඉම පසු කිරීමට සමත්ව තිබෙනවා.

2025 වසරේදී ජැටි දොඹකර මෙහෙයුම් ආරම්භ කිරීමත් සමඟ වේගවත් වර්ධනයක් ලබාගත් හම්බන්තොට වරාය, 2025 වසරේදී TEU 428,036ක් සහ 2026 වසරේ මේ දක්වා කාලය තුළ TEU 574,196ක් වශයෙන් බහාලුම් මෙහෙයවා අති බවයි නිවේදනයක් නිකුත් කරමින් වරාය සඳහන් කරන්නේ.

මෙම වර්ධනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරී විල්සන් ෂු සඳහන් කළේ, TEU මිලියනයේ සීමාව පසුකිරීම වරාය ලබාගත් විශාල ජයග්‍රහණයක් බවත්, පාරිභෝගිකයින් හා නාවික සමාගම් තැබූ විශ්වාසය මත වරායේ සමස්ත මෙහෙයුම් පද්ධතියම පුළුල් කිරීමට මේ වන විට පියවර ගනිමින් සිටින බවයි.

ඉහළ යන බහාලුම් ධාරිතාවට සාර්ථකව මුහුණ දීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 108ක පුළුල් ආයෝජන වැඩසටහනක් ක්‍රියාත්මක වන අතර, ඒ යටතේ නව ජැටි දොඹකර 06ක් සහ රබර් ටයර් ගැන්ට්‍රි දොඹකර 16ක් 2027 පෙබරවාරි වන විට මෙහෙයුම් සඳහා එක් කිරීමට නියමිතයි.

එමෙන්ම, තවත් මීටර් 1,300ක නැංගුරම් පොළක් එක්වීමත් සමඟ වරායේ සමස්ත බහාලුම් නැංගුරම් පොළ දිග කිලෝමීටර් 02කට ආසන්න වනු ඇති බවයි එම නිවේදනයේ සඳහන්.

වරායේ බහාලුම් අංගණ ධාරිතාව සියයට 30කින් පුළුල් කෙරෙන අතර ශීතකරණ බහාලුම් (Reefer) පහසුකම්ද වැඩිදියුණු කිරීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes