General04 October 2026

අහුංගල්ලේ වෙඩිල්ල 'ලොකු පැටී' වැඩක්: වෙඩික්කරු කොස්ගොඩදී පලාගිය පුද්ගලයාද සැකයක්

අහුංගල්ල - ගල්වෙහෙර ප්‍රදේශයේදී නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර අද අලුයම සිදුකළ වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ලොකු පැටීගේ පාර්ශවයෙන් සිදුකර ඇති බවට පොලිසිය සැක පළකරනවා.

මෙම වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ 74 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබූ අතර අදාළ පුද්ගලයා නිවසේ කාමරයක නිදා සිටියදී වෙඩික්කරු, එහි ජනේලයෙන් වෙඩි තබා පළාගොස් තිබුණා.

කෙසේ වෙතත් වෙඩි තැබීම එල්ල කළ පාර්ශවයේ ඉලක්කය වී ඇත්තේ තුවාල ලැබූ මෙම පුද්ගලයාගේ පුත්‍රයා බවයි පොලිසිය සැක පළකරන්නේ.

දින තුනක් ඇතුළත අහුංගල්ල ප්‍රදේශයෙන් වාර්තා වන දෙවැනි වෙඩි තැබීම මෙය වන අතර ඒ අනුව මෙය සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ලොකු පැටීගේ සහෝදරයා ඝාතනය කිරීමේ පළිගැනීමක් වන්නට ඇති බවට ද පොලිසිය සැක පළකරනවා.

මෙම වෙඩි තැබීමත් සමඟ සංවිධානාත්මක අපරාධකරුවන් විසින් මේ වසරේ සිදුකළ වෙඩි තැබීමේ සිදුවීම් ගණන 40ක් දක්වා ඉහළ යන අතර ඉන් 26 දෙනෙකු මියගොස් 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

එමෙන්ම ඝාතනයකට සූදානම්ව සිටියදී කොස්ගොඩදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා සමඟ සිටි පළාගිය අනෙක් සැකකරු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි පොලිසිය වැඩිදුරටත් සැක කරන්නේ.

කරන්දෙණියේ සුද්දා සහ කොස්ගොඩ සුජී නමැති සංවිධානාත්මක අපරාධකරුවන්ගේ පාර්ශ්වයේ සමීපතමයන් පස් දෙනෙකු ඝාතනය කිරීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අහුංගල්ලේ ලොකු පැටීගේ පාර්ශ්වය සැලසුම් සකස් කර ඇති බවට වලාන දූෂණ මර්දන ප්‍රරහාරක බලකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගට තොරතුරක් ලැබී තිබුණා.

කොස්ගොඩ ප්‍රදේශයේ ස්ථාන කිහිපයක මෙම ඝාතන සැලසුම් කර ඇති බවත් වෙඩික්කරුවන් එම ප්‍රදේශයේ නිවසකට පැමිණ ඝාතනය සඳහා සූදානම් වන බවටයි එහිදී වැඩිදුරටත් තොරතුරු ලැබී ඇත්තේ.

වෙඩික්කරුවන් විසින් යතුරුපැදියේ අංක තහඩු වෙනස් කිරීම සහ අවි පරීක්ෂා කිරීම අදාළ නිවසේ සිට සිදු කිරීමට නියමිතව සිට ඇති අතර ඒ අනුව ක්‍රියාත්මක වූ වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ කණ්ඩායමක් ඊයේ පස්වරුවේම කොස්ගොඩ ප්‍රදේශයේ අදාළ නිවස වෙත පැමිණ එම නිවස ආසන්නයේ ඇති කුරුඳු කැලයක සූක්ෂම ලෙස සැඟව සිට තිබෙනවා.

එම අවස්ථාවේ සැකකටයුතු ත්‍රීරෝද රථයකින් පුද්ගලයින් දෙදෙනෙක් අදාළ නිවස වෙත පැමිණෙන ආකාරයත් ඉන් පසුව යතුරු පැදියකින් තවත් පුද්ගලයෙකු පැමිණෙන ආකාරයත් පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණය වී තිබුණා. අදාළ යතුරුපැදිය නිවස ඉදිරිපිට නොනවත්තවා නිවස පිටුපස දෙසටම ධාවනය වන ආකාරය දුටු පොලිස් නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී නිවස වැටලීම සිදුකළ බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී සැකකරුවන් තිදෙනාම නිවස පිටුපස අවි පරීක්ෂා කරමින් සිට තිබෙනවා.

පොලිස් නිලධාරීන් දුටු එක් සැකකරුවෙකු පොලිසිය දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබූ අතර එම අවස්ථාවේ ක්‍රියාත්මක වූ නිලධාරින් සැකකරුගේ පාදයට වෙඩි තබා ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

එම අවස්ථාවේදී අනෙක් සැකකරුවන් දෙදෙනා පලා යෑමේදී ඉන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් නමුත් අනෙක් සැකකරු පලාගොස් තිබුණා.

පොලිස් වෙඩි ප්‍රහාරයෙන් පාදයට තුවාල සිදුවූ වෙඩික්කරු පරීක්ෂා කිරීමේදී ඔහුගේ සාක්කුවේ තිබී අත්බෝම්බයක් සොයා ගත් අතර එම අවස්ථාවේ වෙඩික්කරුගේ ජංගම දුරකතනයට ඩුබායි සිට දුරකතන ඇමතුමක් ද ලැබී තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes