General04 October 2026

ගම්පොළ - නාවලපිටිය දුම්රිය ධාවනය දෙසැම්බර් මාසයේදී යළි ඇරඹීමට සැලසුම්

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත්වූ ගම්පොළ සිට නාවලපිටිය දක්වා මාර්ගයේ දුම්රිය ධාවනය එළැඹෙන දෙසැම්බර් මාසයේදී යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව උඩරට දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය භාර ඉංජිනේරුවන් පවසනවා.

එම දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල මූලික අදියර මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

මෑත ඉතිහාසයේ මෙරටට ඇති වූ දරුණුතම ස්වභාවික ව්‍යසනය වූ දිට්වා සුළි කුණාටුවෙන් මෙරට පොදු ජනතාවගේ ප්‍රමුඛතම ප්‍රවාහන මාධ්‍යක් වූ දුම්රිය මාර්ග පද්ධතියට රුපියල් බිලියන 69කට ආසන්න හානියක් සිදු වුණා.

එහිදී සියවස් ගණනක් ඉපැරණි කොළඹ බදුල්ල දුම්රිය මාර්ගයේ පස්කඳු කඩා වැටීම් ඇතුළු නායයෑම් 223ක් සිදුව තිබුණේ එම මාර්ගයේ දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම අඩාල කරමින්.

ගතවූ දස මසක කාලය තුළ කොටස් කිහිපයක් යටතේ උඩරට දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කර පසුගිය දෙවැනිදා සිට ගම්පොල දක්වා දුම්රිය ධාවනය කිරීමට හැකියාව ලැබුණා.

නමුත් දිට්වා සුළි කුණාටුවෙන් මෙරට දුම්රිය මාර්ග පද්ධතියට හානි සිදුවී වසරකට ආසන්න කාලයක් ගත වුවත් තවමත් කොළඹ සිට බදුල්ල බලා දුම්රියක් ධාවනය කිරීමට හැකියාවක් ලැබී නැහැ.

ගම්පොළ සිට නාවලපිටිය දක්වා ඇති දුම්රිය මාර්ගයේ නායයාම් අටක් සිදුව ඇති අතර, ඉන් විශාලතම හානිය සිදුව ඇත්තේ උලපනේ ගඩොල් බෝක්කුව අසළ ප්‍රදේශයටයි.

දිට්වා ආපදාවට හසුවූ දුම්රියක් තවමත් උලපනේ වරකාපිටිය ප්‍රදේශයේ එලෙසින්ම තිබෙන්නේ මෙම දුම්රිය ඉදිරිපසින් හා පසුපසින් විශාල ලෙස මාර්ගය නායයාම හේතුවෙන්.

ගම්පොළ සිට නාවලපිටිය දක්වා මෙම දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල මූලික අදියර ආරම්භ කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes