General04 October 2026

නියමිත බර නැති පාන් අලෙවි කළ වෙළෙඳුන් සහ බේකරි හිමියන්ට එරෙහිව දිවයින පුරා විශේෂ වැටලීම්

නියමිත බරින් යුක්ත නොවන පාන් අලෙවි කිරීම සහ බර හා මිල ප්‍රදර්ශනය නොකිරීමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.

පසුගිය සැප්තැම්බර් 29 වැනිදා ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුමේදී වෙළෙඳසල් සහ බේකරි 107ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී බර අඩු පාන් සම්බන්ධ සිද්ධි 35ක් වාර්තා වී ඇති බවයි එම අධිකාරිය සඳහන් කරන්නේ.

මීට අමතරව ස්ථාන 85ක පාන්වල බර ප්‍රදර්ශනය කර නොතිබූ අතර, ස්ථාන 55ක මිල ප්‍රදර්ශනය කර නොතිබූ බව සඳහන්.

මෙහිදී බර අඩු පාන් හමු වූ අවස්ථාවලදී සිල්ලර වෙළෙඳුන්ට පමණක් නොව, අදාළ පාන් නිෂ්පාදනය කළ බේකරිය දක්වාම විමර්ශන දීර්ඝ කිරීමට නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

එහිදී නියමිත බරින් යුතු නොවන පාන් නිෂ්පාදනය කරන බව තහවුරු වුවහොත් නිෂ්පාදන ක්‍රියාවලිය වහාම නිවැරදි කිරීමට උපදෙස් දී ඇති අතර, ප්‍රමාණවත් සාක්ෂි සහිතව මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ නඩු පැවරීමටද පියවර ගන්නා බවයි එම අධිකාරිය සඳහන් කරන්නේ.

සැප්තැම්බර් 01 සිට 03 දක්වා ක්‍රියාත්මක වූ පූර්ව වැටලීම් වැඩසටහනද ඇතුළත්ව, මේ වන විට සමස්ත වෙළෙඳසල් සහ බේකරි 225ක් පරීක්ෂා කර ඇති අතර බර අඩු පාන් සම්බන්ධ සිද්ධි 89ක් වාර්තා වී තිබෙනවා.

පාරිභෝගිකයාට නියමිත බරින් යුතු පාන් ලබාදීම සහ නිවැරදි තොරතුරු ප්‍රදර්ශනය කිරීම බේකරි හිමියන්ගේ සහ වෙළෙඳුන්ගේ නීතිමය වගකීමක් වන බැවින්, මෙවැනි වැටලීම් ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් අවධාරණය කරනවා.
Related recommendation
Hiru TV News | Programmes