General05 October 2026

“තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” යටතේ කළුතර නිවාස 02ක් ප්‍රතිලාභීන්ට

“තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” ජාතික නිවාස වැඩපිළිවෙළ යටතේ කළුතර දිස්ත්‍රික්කයේ ඉදිකළ නව නිවාස දෙකක් නිල වශයෙන් ප්‍රතිලාභී පවුල් වෙත භාරදීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) සිදු කෙරුණා.

ඒ අනුව, මිල්ලනිය, කෙලෙස්ගම ඒ. ගුණවර්ධන වෙනුවෙන් ඉදිකළ නව නිවස සහ හොරණ, කුඹුක පදිංචි තරංගා ප්‍රියදර්ශනී වෙනුවෙන් ඉදිකළ නව නිවාස මෙලෙස භාර දුන්නා.

නිවසක් ඉදිකර ගැනීමට මූල්‍ය ශක්තිය නොමැති අඩු ආදායම්ලාභී පවුල් සඳහා ස්ථිර නිවාස හිමිකම තහවුරු කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හා එක්ව ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය යටතේ කළුතර දිස්ත්‍රික්කය තුළ නිවාස 685ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර, එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 10ක මූල්‍යාධාරයක් අදියර කිහිපයක් යටතේ ලබාදීමට නියමිතයි.

ඒ අනුව, දැනට තෝරාගෙන ඇති පවුල් 365ක් වෙනුවෙන් රුපියල් මිලියන 365ක මූල්‍යාධාර ලබාදී ඇති අතර එම නිවාසවල ඉදිකිරීම් ද අවසන් අදියරේ පවතිනවා.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ, අඩු ආදායම්ලාභී සෑම පවුලකටම නිවසක හිමිකම ලබාදීමට රජය කටයුතු කරන බවත් ලෝක ජනාවාස දින සැමරුමට සමගාමීව රජයේ ආධාර මත ඉදිකරන ලද නිවාස 5,000ක් ජනතා අයිතියට පත් කිරීමට නියමිත බවයි.

Related recommendation
Hiru TV News | Programmes