General05 October 2026

දිවයිනේ පළාත් 7කට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීම්

දිවයිනේ පළාත් කිහිපයකට සහ මන්නාරම දිස්ත්‍‍රික්කයට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

අද (05) පස්වරු 11.00 ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට (06) දහවල් 01.00 දක්වා ඉදිරි පැය 14 ක කාලය සඳහා බලපැවැත්වෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, දකුණ සහ උතුරු-මැද යන පළාත්වලට මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයටත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතිනවා.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

මේ අතර ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවල එළිමහනේ හෝ ගස් යට නොසිට ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුළ රැඳී සිටින ලෙසත්, කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තවද රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කර ඇති විදුලි උපකරණ භාවිතයෙන් මෙන්ම බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වළකින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes