General05 October 2026

විදේශ සංචිත ශක්තිමත් කිරීමට සැප්තැම්බරයේදී මහ බැංකුව ඩොලර් මිලියන 64.2ක් මිලදී ගනී

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2026 සැප්තැම්බර් මාසයේදී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් අමෙරිකානු ඩොලර් මිලියන 64.2ක ශුද්ධ මිලදී ගැනීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව, සැප්තැම්බර් මාසයේදී මහ බැංකුව ඩොලර් මිලියන 85ක් මිලදී ගෙන ඇති අතර, ඩොලර් මිලියන 20.8ක් අලෙවි කර තිබෙනවා.

මේ අතර, 2026 අගෝස්තු මාසයේදීද මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළෙඳපොළට මැදිහත් වෙමින් ඩොලර් මිලියන 579ක දැවැන්ත මිලදී ගැනීමක් සිදුකර තිබුණා.

එම කාලයේදී ශ්‍රී ලංකා රුපියලේ අතිප්‍රමාණය වෙමින් සහ , අමෙරිකානු ඩොලරයේ අගය පහළ යමින් තිබූ පසුබිමක මහ බැංකුව එලෙස විශාල ඩොලර් ප්‍රමාණයක් මිලදී ගැනීමට හේතු වූ කාරණා සම්බන්ධයෙන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඔහු සඳහන් කළේ අනවශ්‍ය විනිමය අනුපාත උච්චාවචනයන් වැළැක්වීම මෙන්ම විදේශ සංචිත ගොඩනැගීම සඳහා මහ බැංකුව විදේශ විනිමය වෙළෙඳපොළට දෙපසින්ම මැදිහත් වන බවයි.

විනිමය අනුපාතයේ උච්චාවචනයන් අවම කිරීම සහ විදේශ සංචිත ගොඩනැගීම යන අරමුණු දෙක මත මහ බැංකුවේ වෙළෙඳපොළ මැදිහත්වීම් සිදුකරන බවද මහ බැංකු අධිපතිවරයා පවසා තිබෙනවා.

වෙළෙඳපොළේ පවතින විදේශ විනිමය ද්‍රවශීලතාව අනුව එම මැදිහත්වීම් කාලයෙන් කාලයට වෙනස් වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

අගෝස්තු මාසයේදී විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටට ලැබී තිබූ බැවින්, එම අවස්ථාවේදී වෙළෙඳපොළේ ප්‍රමාණවත් විදේශ විනිමය පැවති බවත්, ඒ අනුව සංචිත ගොඩනඟන අතරතුර විනිමය අනුපාතය ස්ථාවරව පවත්වා ගැනීමට හැකි වූ බවත් මහ බැංකු අධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

පසුගියදා පැවති ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් පළ කළා.


Related recommendation
Hiru TV News | Programmes