General05 October 2026

"ඥානසාර හිමියන්ගේ දුරකථනයට 'සිග්නල්' නැති වීම ප්‍රශ්නෙට හේතුවයි" - නීතිඥවරයා අධිකරණයට කියයි

ඥාණසාර හිමියෝ තීනියාවල ආරණ්‍යයට වැඩම කළේ නිකායෙ නායක හිමිවරුන්ගේ උපදෙස් මත බවත්, උන්වහන්සේගේ නීතීඥවරයා වූ ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ සමග කතා කිරිමට නොහැකි වුයේ ජංගම දුරකතනයේ සිග්නල් නොමැති වූ නිසා බවත් චුදිත හිමියන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ සුදත් ජයසුන්දර අද (05) අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

ඒ, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී සිරදඬුවම් නියම වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට කරුණු ඉදිරිපත් කරමින්.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු වී සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ අපහාස කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය මගින් නියම කර ඇති සිර දඬුවම්වල ඉතිරි කාලය ගෙවීම සඳහා උන්වහන්සේව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට භාර දෙන ලෙස මෙහිදී අභියාචනාධිකරණය අද (05) නියෝග කළා.

නීතිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මෝසමක් අනුව උන්වහන්සේට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබුණත් ඒ හිමියන් නොපැමිණීම හේතුවෙන් අභියාචනාධිකරණය පළමුව වරෙන්තු නිකුත් කළා.

පසුව උන්වහන්සේ අධිකරණයට භාර නොවීම හේතුවෙන් දුටු තැන අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක්ද අධිකරණයෙන් නිකුත් වුණා.

ඊට අමතරව ඥානසාර හිමියන් විදේශ ගතවීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් විදේශ ගමන් තහනමක්ද නිකුත් කර තිබුණා.

ඒ පිළිබඳව ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසත් එම නියෝගයේ සඳහන් වුණා.

මෙම සිද්ධියට සම්බන්ධ නඩුකරකය අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මායාදුන්නේ කොරයා සහ ලක්මාලී කරුණානායක යන විනිසුරුවන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (05) සලකා බැලුණා.

මෙම නඩුකරය කැඳවූ අවස්ථාවේදී ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුගත් ජයසුන්දර කියා සිටියේ ඥානසාර හිමියන්ට සිය ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් සම්බන්ධ කර ගැනීමට නොහැකි වූයේ උන්වහන්සේගේ ජංගම දුරකථනයේ සංඥා නොමැතිකම හේතුවෙන් බවත් එමෙන්ම, හිමියන් අසනීප තත්ත්වය පසුවෙන බැවිනුත් යන්නයි.

එමෙන්ම, උන්වහන්සේ විවේක ගැනීම සඳහා ආරණ්‍ය සේනාසයකට ගොස් සිටි බවත්, ඥානසාර හිමියන් කිසි විටෙකත් අධිකරණය මගහැර පලාගොස් නොසිටි බවත් නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.

අධිකරණ නියෝගය සම්බන්ධ කිසිදු කරුණක් ජ්‍යෙෂ්ඨ නීතිඥයාගෙන් උන්වහන්සේට ලබාදීමට දුරකථන සංඥා නොමැතිවීමම මෙවැනි තත්ත්වයක් උද්ගත වීමට කරුණු වූ බවත් ඥානසාර හිමියන් අසනීප තත්වයෙන් පසු වන බවට වෛද්‍ය වාර්තාවක් ද මේ වන විටත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.

වගඋත්තරකාර ඥානසාර හිමියන් වෙනුවෙන් නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න සමග පෙනී සිටි නීතීඥ සුදත් ජයසුන්දර අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ ප්‍රකාශ කළා.

"ස්වාමීනී, වගඋත්තරකාර හිමියන් පසුගිය දිනවල මානසික වශයෙන් බිඳ වැටී රෝගාතුර තත්ත්වයකට පත්වුණා. ඉන් අනතුරුව නායක හිමිවරුන්ගේ උපදෙස් මත උන්වහන්සේ ආරණ්‍ය සේනාසනයක රැඳී සිටියා. මානසික වශයෙන් විවේකයක් ලබා ගැනීම සඳහායි උන්වහන්සේ එහි රැඳී සිටියේ. එසේ නොමැතිව අධිකරණය මග හැරයාමේ චේතනාවක් උන්වහන්සේ තුළ තිබුණේ නැහැ."

අධිකරණය - "එසේ නම් වගඋත්තරකරු නීතිඥවරුන්ට අවශ්‍ය උපදෙස් ලබාදීමට කටයුතු නොකළේ ඇයි?"

නීතිඥවරයා - "ස්වාමීනි, වගඋත්තරකාර හිමියන් රැඳී සිටි ස්ථානයේ දුරකථන සංඥා (Signal) දුර්වල තත්ත්වයකයි තිබුණේ. ඒ නිසයි නීතිඥවරු සම්බන්ධ කරගෙන උපදෙස් ලබා දෙන්න බැරි වුණේ.

ස්වාමීනී, වගඋත්තරකාර ඥානසාර හිමියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වීමට මා බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේට අවශ්‍ය ආරක්ෂාව සපයාදිය යුතු බවට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් වාර්තාවෙත් සඳහන් කර තිබෙනවා.

එම නිසා උන්වහන්සේට බන්ධනාගාරය තුළදී අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා.
ඊට අමතරව ඥානසාර හිමියන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට සම්බන්ධයෙන් වූ නියෝග නිකුත් කරන ලෙසත් මා ඉල්ලා සිටිනවා "

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රජිත පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, වගඋත්තරකාර ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා පළමු අවස්ථාවේ වරෙන්තුවක් සහ දෙවැනි අවස්ථාවේදී දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් විවෘත වරෙන්තුවක්ද නිකුත් කළ බවයි.

හිමියන්ට ලබාදුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අහෝසි කර ඇති බැවින් වගඋත්තරකාර හිමියන්ට ඉතිරි සිර දඬුවම් කාලය ගෙවීම සඳහා හිමියන්ව බන්ධනාගාරයට භාරදෙන ලෙස ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥ සජිත් බණ්ඩාර සමග පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රජිත පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ ප්‍රකාශ කළා.
" ස්වාමීනී, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වගඋත්තරකාර ඥානසාර හිමියන්ට 2018 වසරේ අභියාචනාධිකරණය විසින් සිර දඬුවම් නියම කළා.

ඉන් අනතුරුව 2019 වසරේ මැයි මස 23 වැනිදා උන්වහන්සේට ජනාධිපතිවරයා විසින් සමාව ප්‍රදානය කළා. එහෙත් එම ජනාධිපති සමාව අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය වගඋත්තරකාර හිමියන්ට ප්‍රදානය කරන ලද සමාව නීතිය ඉදිරියේ බල ශූන්‍ය බවට ඉකුත් සැප්තැම්බර් 10 වැනිදා තීන්දුවක් ලබා දුන්නා.

ඒ අනුව තමයි මේ මෝසම ඉදිරිපත් කිරීමට අප කටයුතු කළේ. මේ අවස්ථාවේ අප අධිකරණයෙන් ඉල්ලා සිටිනවා ඥානසාර හිමියන්ට නියම කරන ලද සිර දඬුවමට අයත් ඉතිරි දඬුවම් කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙස"

නීතිඥ සුදත් ජයසුන්දර - ‘ස්වාමිනී, මගේ සේවාදායක හිමියන්ට අධිකරණය හමුවේ කෙටි කරුණු දැක්වීමක් සිදු කිරීම සඳහා අවසර ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.”

විනිසුරු මඩුල්ල - වගඋත්තරකාර හිමියන් වෙනුවෙන් නීතිඥවරයකු කරුණු දක්වා තිබෙනවා. එබැවින් එම ඉල්ලීමට අවසර දිය නොහැකියි.

දෙපාර්ශවය කරුණු සැලකිල්ලට ගත් අභියාචනාධිරණය වගඋත්තරකාර හිමියන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට භාර දෙන ලෙස පොලිසිය නියෝග කළා.

2016 ජනවාරි 03 වැනි දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ අවසරයකින් තොරව අධිකරණයට අපහාස කරමින් ප්‍රකාශයක් කළ බවට චෝදනා ලැබ අභියාචනාධිකරණය මගින් වරදකරු කොට වසර 19ක සිර දඬුවමක් වසර හයකින් ගෙවී යන පරිදි ඥානසාර හිමියන්ට නියම වුණා.

ඉන්පසුව ඥානසාර හිමියන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනපති සමාවක් ප්‍රදානය කළා.

එම ජනපති සමාවට ඊට එරෙහිව ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අදාල සමාව බලරහිත කිරීමට නියෝග කරනු ලැබුවා.

වගඋත්තරකාර හිමියන් වෙනුවෙන් නීතිඥ සුදත් ජයසුන්දර පෙනී සිටියා.

නීතිපති වෙනුවෙන් ජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සජිත් බණ්ඩාර සමග නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රජිත පෙරේරා පෙනී සිටියා.
Related recommendation
Hiru TV News | Programmes