General05 October 2026

6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා පාසල් විෂය මාලාවට නව විෂයක් - අග්‍රාමාත්‍ය හරිනි

රජය විසින් ගනු ලැබූ සාධනීය ක්‍රියාමාර්ග හේතුවෙන් මෙරට මූල්‍ය සාක්ෂරතාව 35% සිට 58% දක්වා ඉහළ නැංවීමට හැකිවූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ඇය මේ බව සඳහන් කළේ අද (05) කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පැවති කොළඹ කොටස් හුවමාරුවේ 40 වන සංවත්සර උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්.

රටේ සෑම පුරවැසියෙකුටම තමන් උපයන මුදල් නිවැරදිව කළමනාකරණය කර ගැනීමට, ඉතිරි කිරීමට, අවදානම් හඳුනාගෙන ආයෝජනය කිරීමට මෙන්ම වංචාකාරී මූල්‍ය ජාවාරම්වලට හසු නොවී සිටීමට අවශ්‍ය දැනුවත්භාවය ලබාදීම රජයේ අරමුණ බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.

විශේෂයෙන් පාසල් දරුවන් වෙනුවෙන් නව විෂයමාලා සංශෝධන යටතේ 6 වන ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා “ව්‍යවසායකත්වය හා මූල්‍ය සාක්ෂරතාව” නමින් නව විෂය ක්ෂේත්‍රයක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බවද ඇය පැවසුවා.

එමෙන්ම අද දියත් කළ “Stock Market Game” වැඩසටහන සහ පාසල් ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගම් වැනි ප්‍රායෝගික වැඩසටහන් හරහා දරුවන්ට සහ තරුණ පරපුරට කුඩා අවධියේ සිටම ව්‍යවසායකත්වය සහ ආයෝජනය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාදීමට හැකි වන බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නා.

කොළඹ කොටස් හුවමාරුව දිවයින පුරා ශාඛා 13ක් දක්වා පුළුල් කරමින් ජනතාව අතරට මූල්‍ය දැනුම ගෙන යාමට දරන උත්සාහයද රජයක් ලෙස අගය කරන බව ඇය සඳහන් කළා.

සාම්ප්‍රදායික ඉතුරුම් ක්‍රමවලින් ඔබ්බට ගොස් රටේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ශක්තිමත් කිරීමටත්, තරුණ පරපුරට නව ආයෝජන අවස්ථා නිර්මාණය කිරීමටත් රජය කැපවී සිටින බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.
Related recommendation
Hiru TV News | Programmes