General09 October 2026

බොරලැස්ගමුව ඝාතනයේ වෙඩික්කරු කොට්ටාව පොලිසියට කොටුවෙයි

බොරලැස්ගමුව මාලනී බුලත් සිංහල මාවතේ නිවසකට යතුරුපැදියකින් පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ එහි සිටි පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 500ක් සමග අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසියය පවසනවා.

එහිදී මියගොස් ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොස්මල්ලි නමැත්තාගේ පාර්ශවයේ සමීපතමයකුගේ පියා වන සුනිල් ප්‍රනාන්දු නමැති 74 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු නිවසේ රැඳී සිටියදී ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පුද්ගලයින් දෙදෙනකු පැමිණ වෙඩි තබා පලා ගොස් තිබුණා.

පසුව සැකකරුවන් සොයා විමර්ශන සිදු කරමින් සිටියදී වෙඩිතැබීමට සම්බන්ධ වෙඩික්කරු කොට්ටාව පොලිසියේ අපරාධ අංශයේ නිලධාරී කණ්ඩායමක් කොට්ටාව නුගෙ මුල්ල හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා.

සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන "දෙහිවල සැන්ඩෝ" නමැත්තාගේ ගෝලයෙකු සහ ඝාතන තුනකට සම්බන්ධ සැකකරුවෙකු බවට හෙළිව තිබෙනවා.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශයට භාර දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes