International11 October 2026

අමෙරිකාවේ පෙන්සිල්වේනියාහිදී දරුණු වෙඩි තැබීමක්: ගැබිනි මවක් සහ දරුවන් දෙදෙනෙකු ඇතුළුව 8ක් මරුට

අමෙරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ඉරි (Erie) නගරයේ නිවසක් තුළ ගැබිනි මවක් සහ කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 8 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර, වෙඩික්කරු ද සියදිවි නසාගෙන තිබෙනවා.

ඉරි නගරයේ පිහිටි නිවසක් දෙසට පුද්ගලයෙකු වෙඩි තබමින් ගමන් කරන බවට ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය එම ස්ථානයට ළඟාවන විටත් නිවසින් පිටත කාන්තාවන් දෙදෙනෙකු වෙඩි වැදී මියගොස් සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුව පොලිස් නිලධාරීන් නිවස තුළට ඇතුළු වී පරීක්ෂා කිරීමේදී පළමු මහලේ සිටි අවුරුදු 5 සහ 1 වයස්වල පසුවන කුඩා දරුවන් දෙදෙනෙකුගේ මළසිරුරු සොයාගෙන ඇති අතර, දෙවන මහලේ සහ පඩිපෙළ අසල තිබී මාස 8ක ගර්භණී කාන්තාවක ද ඇතුළුව තවත් තරුණයින් සහ කාන්තාවන් කිහිපදෙනෙකුගේ මළසිරුරු මෙන්ම වෙඩික්කරුගේ සිරුර ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මියගිය පිරිසෙන් එක් අයෙකු හැර අන් සියලුදෙනාම එකම පවුලේ ඥාතීන් වන බවයි පොලිසිය පවසන්නේ.

මෙම අවාසනාවන්ත සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති වුවද, වෙඩික්කරුගේ මානසික සෞඛ්‍ය තත්ත්වය මෙයට ප්‍රධාන හේතුවක් වන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනු ලබන්නේ.

මූලාශ්‍රය - බීබීසී
Related recommendation
Hiru TV News | Programmes