International14 October 2026

OpenAI ආයතනයේ රහස් සංවාද පටිගත කිරීමට උපකරණ සවි කළ ඉංජිනේරුවා අත්අඩංගුවට

අමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ නුවර පිහිටි OpenAI ප්‍රධාන කාර්යාලයේ ශ්‍රව්‍ය පටිගත කිරීමේ උපකරණයක් රහසිගතව සවි කිරීම සම්බන්ධයෙන් එම ආයතනයේ හිටපු මෘදුකාංග ඉංජිනේරුවෙකු අමෙරිකානු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව CNN පුවත් සේවය වාර්තා කරනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි අබ්දුල්රහ්මාන් අල්ෆොසාන් (Abdulrahman Alfozan) නමැති සවුදි අරාබි ජාතිකයෙක් වන අතර, ඔහු 2025 ජූලි මාසයේ සිට එම ආයතනයේ නිෂ්පාදන කණ්ඩායමේ ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කර ඇති බවත් සඳහන්.

පසුගිය සැප්තැම්බර් 30 වනදා සිදුකළ සාමාන්‍ය පරික්ෂාවකදී, රැස්වීම් කාමරයක තිබූ රූපවාහිනී යන්ත්‍රයක USB පෝට් එකකට සවි කර වැසිකිළි කඩදාසිවලින් සඟවා තිබූ මෙම සූක්ෂ්ම පටිගත කිරීමේ උපකරණය සොයාගෙන ඇති බව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව (DOJ) සඳහන් කරන බවයි CNN පුවත් සේවය වාර්තා කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මේ වන විට රැකියාවෙන් පහකර ඇති අතර, ඔහු ෆෙඩරල් පොලිස් භාරයේ පසුවන බවයි CNN පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes