General16 October 2026

රටේ ඒකීයත්වය රැකීමට බුදුසසුනට ප්‍රමුඛස්ථානය දී සෙසු ආගම් ද සුරක්ෂා කළ යුතුයි - විපක්ෂ නායක සජිත්

රටේ ඒකීයත්වය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීත්වය සුරක්ෂිත කිරීමට නම් බුදුසසුනට ප්‍රමුඛස්ථානය ලබාදෙන අතරම සෙසු ආගම් සහ ආගමික සිද්ධස්ථාන ද ආරක්ෂා කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ මහා විහාර වංශික අමරපුර මහා නිකායේ සිරි සද්ධම්මවංස පාර්ශ්වයේ අනුනායක ධුරය හෙබවූ අතිපූජ්‍ය වැල්ලවත්තේ පඤ්ඤාසිරි හිමියන්ගේ ආදාහන පූජෝත්සවයට එක්වෙමින්.

රටේ උත්තරීතර නීතියට අනුව සම්බුද්ධ ශාසනය සුරක්ෂා කිරීම, පෝෂණය කිරීම සහ ආරක්ෂා කිරීම සියලු දෙනාගේ වගකීමක් මෙන්ම යුතුකමක් බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළා.

එමෙන්ම, සෙසු ආගම්, ජන කොටස්, සංස්කෘතීන් සහ ආගමික සිද්ධස්ථානවලට ද නිසි රැකවරණය ලබාදිය යුතු බව ඔහු පෙන්වා දුන්නා.

අපවත් වූ වැල්ලවත්තේ පඤ්ඤාසිරි හිමියන් බුද්ධ ශාසනය සුරක්ෂා කිරීම වෙනුවෙන් පන්සල්, දහම් පාසල් සහ පිරිවෙන් ශක්තිමත් කිරීමට කටයුතු කළ බවත්, පිළියන්දල විද්‍යාශාන්ති පුදබිම ගොඩනඟා සංවර්ධනය කරමින් විශාල ශාසනික සේවාවක් ඉටු කළ බවත් විපක්ෂනායකවරයා සඳහන් කළා.

උන්වහන්සේගෙන් ලැබුණු ආදර්ශ අනුව මහා සංඝරත්නය ආරක්ෂා කරමින්, චීවරයට නිසි ගෞරවය ලබාදෙමින් සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ යුතු බව ද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියා.
Related recommendation
Hiru TV News | Programmes