International16 October 2026

චීනයේ රෙදිපිළි කර්මාන්තය අර්බුදයක – කර්මාන්තශාලා වැසී රැකියා අහිමිවීම් ඉහළට

චීනයේ රෙදිපිළි හා ඇඟලුම් කර්මාන්තය තුළ ඇණවුම් අඩුවීම, කර්මාන්තශාලා වැසී යාම සහ රැකියා කප්පාදු කිරීම් ඉහළ යමින් පවතින බව Mekong News වාර්තා කරනවා.

එම වාර්තාවට අනුව, 2026 වසරේ පළමු මාස හය තුළ චීනයේ රෙදිපිළි හා ඇඟලුම් සමාගම් 1,500කට ආසන්න සංඛ්‍යාවක් නිල කාර්මික ව්‍යවසාය සංඛ්‍යාලේඛනවලින් ඉවත් වී තිබෙනවා.

දේශීය ඉල්ලුම දුර්වල වීම සහ ජාත්‍යන්තර තරගකාරීත්වය ඉහළ යාම හමුවේ ඇතැම් නිෂ්පාදකයන්ට කෙටි කාලීන ඇණවුම් පමණක් ලැබෙන අතර, සේවා මුර අඩු කිරීම, බඳවා ගැනීම් නතර කිරීම සහ සේවකයන් ඉවත් කිරීම ද සිදුවන බව සඳහන්.

මේ අතර, චීනයේ Zhejiang පළාතේ Jiaxing Kanglong Textile සමාගම සිය නිෂ්පාදන කටයුතුවලින් කොටසක් මෙක්සිකෝවට ගෙන යාමට සැලසුම් කර ඇති බව ද වාර්තා වනවා.

අමෙරිකානු වෙළෙඳපොළට සමීප වීම සහ ප්‍රවාහන වියදම් අඩු කරගැනීමේ හැකියාව හේතුවෙන් මෙක්සිකෝව නිෂ්පාදකයන්ගේ ආකර්ෂණය දිනාගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, චීනයේ නිල සංඛ්‍යාලේඛන අනුව වසරේ මුල් මාස හත තුළ විශාල රෙදිපිළි ව්‍යවසායන්හි ආදායම සහ ලාභය ඉහළ ගොස් තිබෙනවා. එහෙත් කර්මාන්තයේ ඇතැම් පාර්ශ්ව පවසන්නේ එම දත්ත තමන් මුහුණ දෙන ඇණවුම් අඩුවීම සහ නිෂ්පාදන ගැටලු පිළිබිඹු නොකරන බවයි.

දේශීය ඉල්ලුම යථා තත්ත්වයට පත් නොවුවහොත් තවත් කර්මාන්තශාලා වැසී යාම සහ නිෂ්පාදන කටයුතු වෙනත් රටවලට මාරු වීමේ ප්‍රවණතාව ඉහළ යා හැකි බව එම වාර්තාව පෙන්වා දෙනවා.
Related recommendation
Hiru TV News | Programmes