International16 October 2026

ජපානය අභිබවා ඉන්දියාව ලොව 4 වන විශාලතම ආර්ථිකය බවට පත්වන ලකුණු – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

ආසියානු රටවල ආර්ථික ගමන්මග පිළිබඳ දත්ත වාර්තාවක් එළිදක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සූදානම් කළ පුරෝකථනයන්ට අනුව, 2027 වසර වන විට ජපානය අභිබවා යමින් ඉන්දියාව ලොව හතරවන විශාලතම ආර්ථිකය බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මෙම වසරේදී නාමික දළ දේශීය නිෂ්පාදිතය අනුව ජපානය ලොව හතරවන විශාලතම ආර්ථිකය ලෙස තවදුරටත් පවතිනු ඇති බවත්, නමුත් 2027 දී අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 4.52ක නාමික දළ දේශීය නිෂ්පාදිතයක් වාර්තා කරමින් ඉන්දියාව එම ස්ථානය අත්කර ගැනීමට නියමිත බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

අදාළ පුරෝකථනයන්ට අනුව, එම වසරේදී ජපානය ඉන්දියාවට මෙන්ම එක්සත් රාජධානියට ද පිටුපසින් පසුවෙමින් ලොව 6 වන ස්ථානය දක්වා පහත වැටෙනු ඇති.

ගෝලීය ආර්ථික අභියෝග හමුවේ වුවද මෑත වසරවලදී ඉන්දියාව ශක්තිමත් ආර්ථික වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම සතියේදී ඉන්දියාවේ 2026 වසර සඳහා වන වර්ධන පුරෝකථනය 7.0% දක්වා ඉහළ නංවා තිබෙනවා.

ඊට පටහැණිව, ජපානය වයස්ගත වන ජනගහනය සහ අනෙකුත් ව්‍යුහාත්මක ගැටලු හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටින අතර, එමඟින් එම ආසියානු බලවතාගේ ආර්ථික වර්ධනය අඩාල වී තිබෙනවා.

දැනට ලොව විශාලතම ආර්ථිකය ලෙස අමෙරිකා එක්සත් ජනපදය පසුවන අතර, චීනය සහ ජර්මනිය ඊට පසුපසින් පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථානවල පසුවෙනවා.

ආසියා-පැසිෆික් කලාපය සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රාදේශීය ආර්ථික තත්ත්වය පිළිබඳ වාර්තාව එළිදක්වමින් එහි ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් ප්‍රකාශ කළේ, අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කළ යුද්ධය හේතුවෙන් මතුවූ බලශක්ති මිල ඉහළ යාමේ අර්බුදයට ඉන්දියාව මුහුණ දුන්නේ ශක්තිමත් ආර්ථික පදනමක සිට බවයි.

මූලාශ්‍රය - wionews
Related recommendation
Hiru TV News | Programmes