International16 October 2026

සැත්කමෙන් පසු පාප් වහන්සේ පළමු වරට රෝහලේ සිට පූජාවක් පවත්වයි

පෙනහළු සැත්කමකට භාජනය කිරීමෙන් සහ පෙනහළු පිළිකාවක් ඇති බවට හඳුනාගැනීමෙන් පසු, 14 වන ලියෝ පාප් වහන්සේ රෝහලේ සිට දිව්‍ය පූජාවක් පවත්වන ආකාරය දැක්වෙන ඡායාරූප වතිකානය විසින් පළමු වරට නිකුත් කර තිබෙනවා.

71 හැවිරිදි පාප් වහන්සේ රෝමයේ ජෙමෙල්ලි රෝහලේදී අඟහරුවාදා පස්වරුවේ පෙනහළු සැත්කමකට භාජනය කර ඇති අතර, එම සැත්කම සාර්ථකව සිදුකළ බවත්, කිසිදු සංකූලතාවක් ඇති නොවූ බවත්, වතිකානය මීට පෙර සඳහන් කළා.

මෙසේ නිකුත් කළ ඡායාරූපවල දැක්වෙන්නේ රෝහලේ දහවැනි මහලේ තාවකාලිකව සකස් කළ පූජාසනයක් පිටුපස සිට කොළ පැහැති පූජක ඇඳුමකින් සැරසී පාප් වහන්සේ දිව්‍ය පූජාව පවත්වන ආකාරයයි.

එහිදී රෝහලේ වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය සමග එක්ව දිව්‍ය පූජාව පැවැත්වූ පාප් වහන්සේ, ඔවුන්ගේ සේවය වෙනුවෙන් ස්තුතිය පළ කළ බව වතිකානයේ මාධ්‍ය කාර්යාලය සඳහන් කර තිබෙනවා.

මේ අතර, සැත්කමෙන් පසු පාප් වහන්සේගේ සමස්ත සෞඛ්‍ය තත්ත්වය ක්‍රමයෙන් යහපත් අතට හැරෙමින් පවතින බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම, පපුවේ එක්ස් කිරණ පරීක්ෂණයෙන් සැත්කමට භාජනය කළ පෙනහල්ල යථා තත්ත්වයට පත්වීමේ යහපත් ලක්ෂණ පෙන්නුම් කරන බවද වෛද්‍යවරුන් සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සැත්කමෙන් පසු පාප් වහන්සේ සාමාන්‍ය පරිදි සිහිය ලබාගෙන ඇති අතර, කෙටි කාලයක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව නැවතත් සිය කාමරයට ගිය බවත්, පසුව රෝහලේ සන්සුන් රාත්‍රියක් ගත කළ බවත්, වතිකානය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මූලාශ්‍රය : BBC
Related recommendation
Hiru TV News | Programmes