Entertainment17 October 2026

දකුණු ඉන්දීය සංගීත අධ්‍යක්ෂ දේවා අභාවප්‍රාප්ත වෙයි

දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂවරයෙකු වන දේවා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු චෙන්නායිහි පෞද්ගලික රෝහලකට අද (17) පෙරවරු 8.30ට පමණ ඇතුළත් කර ඇති අතර, පසුව ඔහු මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

දමිළ සිනමා සංගීතයට ගානා (Gaana) සංගීත ශෛලිය හඳුන්වා දීම සහ ජනප්‍රිය කිරීම වෙනුවෙන් දේවා සුවිශේෂී දායකත්වයක් ලබාදී තිබෙනවා.

ඔහුගේ සංගීත අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ ජනප්‍රිය චිත්‍රපට අතරට Baashha, Annamalai, Nattamai, Aasai, Kadhal Kottai සහ Nerukku Ner ඇතුළත්.

එමෙන්ම, රජිනිකාන්ත්, විජේ සහ අජිත් වැනි දකුණු ඉන්දීය සිනමාවේ ප්‍රමුඛ නළුවන් රැසකගේ චිත්‍රපට සඳහා ද ඔහු සංගීත නිර්මාණයෙන් දායක වී තිබෙනවා.

Baashha චිත්‍රපටයේ ‘Ra Ra Ramaiya’, Aasai චිත්‍රපටයේ ‘Konja Naal Poru Thalaiva’ සහ Kadhal Kottai චිත්‍රපටයේ ‘Vellarikka Pinju Vellarikka’ ඔහුගේ ජනප්‍රිය ගීත අතරට අයත්.

දේවාගේ අභාවයත් සමග ඔහුගේ රසිකයින් සහ දමිළ සිනමා ක්ෂේත්‍රයේ පිරිස් ශෝකය පළ කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
Related recommendation
Hiru TV News | Programmes