General17 October 2026

කාවන්තිස්සගේ මරණය ගැන ස්වාධීන පරීක්ෂණයක් ඕනෑ - විපක්ෂ නායක

සියඹලාන්ගමුවේදී මියගිය 'කාවන්තිස්ස' මහ ඇතාගේ මරණය සම්බන්ධයෙන් දේශීය හා විදේශීය විශේෂඥයන්ගේ සහභාගීත්වයෙන් විනිවිදභාවයකින් යුතු මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටිනවා.

මියගිය කාවන්තිස්ස ඇතාට අවසන් ගෞරව දැක්වීම සඳහා අද (17) එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා සඳහන් කළේ, වසර ගණනාවකට පෙර සියඹලාන්ගමුව වැව ඉසමත්තේදී හමුවූ මෙම ඇතාට 'කාවන්තිස්ස' ලෙස නම තබන ලද්දේ ද පරිසරවේදියකු හා වනජීවී ඡායාරූප ශිල්පියකු ලෙස තමන් විසින්ම බවයි.

කාවන්තිස්ස යනු සාමාන්‍ය ඇතකු නොව මෙරට වනයේ සිටි මහසෙන්, අග්බෝ හා සැන්ඩෝ වැනි දැවැන්තම ඇතුන් අතරින් එක් අයෙකු බවද ඔහු පැවසුවා.

මෙරට තරුණ පරම්පරාව එකතු කරගනිමින් අලි ඇතුන් ආරක්ෂා කිරීමේ වැඩසටහනකට නායකත්වය දීමට තමන් සූදානම් බවත්, ජාත්‍යන්තර ආධාර ලබාගෙන වනසතුන් උදෙසාම වෙන්වූ විශේෂිත රෝහලක් ස්ථාපිත කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නා.

අලි ඇතුන් සුරක්ෂිත කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි 'කාර්ය සාධන බලකායක්' ස්ථාපිත කරන ලෙසත්, මීට පෙරද තමන් කළ මෙම යෝජනාවට රජය නිසි අවධානයක් යොමු නොකළ බවත් හෙතෙම සඳහන් කළා.

ආසියාතික අලි ගහනයෙන් දළ පිහිටන්නේ 7-8%ක කුඩා ප්‍රමාණයකට පමණක් බවත්, වර්තමානයේ ඇතුන්ගේ ජාන සමූහයේ යම් අඩුවීමක් සිදුවෙමින් පවතින බවත් පෙන්වා දුන් විපක්ෂ නායකවරයා ගොවි ජනතාව මෙන්ම අලි ඇතුන්ගේ ජීවිතද ආරක්ෂා වන පරිදි අලි-මිනිස් ගැටුමට කඩිනම් හා විධිමත් විසඳුම් ලබාදිය යුතු බවයි අවධාරණය කළේ.
Related recommendation
Hiru TV News | Programmes