General18 October 2026

විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂූන්ට එල්ල කළ බව කියන ප්‍රහාරය විපක්ෂ නායක සජිත් හෙළා දකී

කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ පිරිත් දේශනා කරමින් සිටි භික්ෂූන් වහන්සේලාට ප්‍රහාරයක් එල්ල කළ බවට චෝදනා කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම ක්‍රියාව තරයේ හෙළා දැක තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා පවත්වන සාමකාමී සත්‍යග්‍රහය සම්බන්ධයෙන් රජය ආරම්භයේ සිටම කටයුතු කළ ආකාරය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවයි.

භික්ෂූන් වහන්සේලාගේ සනීපාරක්ෂක පහසුකම් පවා අහුරා ඇති බවත්, වර්ෂාවෙන් ආරක්ෂා වීම සඳහා යොදාගෙන තිබූ ආවරණ බලහත්කාරයෙන් ඉවත් කර ඇති බවත් ඔහු එම නිවේදනයෙන් පෙන්වා දෙනවා.

රටේ ජනතාවගේ සහ භික්ෂූන් වහන්සේලාගේ ආරක්ෂාව තහවුරු කිරීම ජනාධිපතිවරයාගේ වගකීමක් බව සඳහන් කරන විපක්ෂ නායකවරයා, ආගමික සමගිය සහ සාමය බිඳ වැටීමට ඉඩ නොදී කඩිනමින් මැදිහත් වන ලෙස ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර, භික්ෂූන් වහන්සේලාගේ සනීපාරක්ෂක අවශ්‍යතා සඳහා පහසුකම් සැලසූ දවටගහ මුස්ලිම් පල්ලියේ පාලනාධිකාරියට ද සජිත් ප්‍රේමදාස සිය ස්තූතිය පළ කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes