Entertainment28 October 2026

නැනෝටිරැනස් ඩයිනසෝර සැකිල්ල ඇමෙරිකානු ඩොලර් මිලියන 47.3කට වෙන්දේසියකදී අලෙවි වෙයි

දීර්ඝ කාලයක් තිස්සේ කුඩා ටිරන්නෝසෝරස් රෙක්ස් (T. rex) ඩයිනසෝරයෙකුගේ සැකිල්ලක් ලෙස වරදවා වටහාගෙන තිබූ, මෑතකදී වෙනම ඩයිනෝසෝර විශේෂයක් ලෙස හඳුනාගත් නැනෝටිරැනස් (Nanotyrannus) ඩයිනසෝරයාගේ සැකිල්ලක් නිව්යෝර්ක්හි පැවැති Sotheby's වෙන්දේසියේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 47.3කට (පවුම් මිලියන 35.5කට ආසන්න) අලෙවි වී ඇති බව බීබීසී පුවත් සේවය පවසනවා.

‘ජෝඩි’ (Jodi) ලෙස නම් කර ඇති, උසින් අඩි 10ක් (මීටර් 3ක්) පමණ වන මෙම පූර්ණ ඩයිනසෝර සැකිල්ල වෙන්දේසි කෙරුණේ එය වෙනම ඩයිනසෝර ගණයකට අයත් බව පර්යේෂකයන් විසින් තහවුරු කර වසරකට පසුවයි.

ක්‍රිටේසියස් යුගයේ පසුභාගයට අයත් මෙම මාංශ භක්ෂක ඩයිනසෝර සැකිල්ල ඩොලර් මිලියන 9කට ආසන්න මුදලකට අලෙවි වනු ඇති බවට ප්‍රථමයෙන් තක්සේරු කර තිබුණද, ලංසුකරුවන් 6 දෙනෙකු අතර පැවැති විනාඩි 12ක තරගකාරී ලංසු තැබීමකින් පසුව එය ඩොලර් මිලියන 47.3 දක්වා ඉහළ ගියා.

මෙතෙක් ලොව වෙන්දේසියකදී වැඩිම මුදලකට අලෙවි වූ ඩයිනසෝර සැකිලි අතරින් දෙවන ස්ථානය හිමි කරගැනීමට 'ජෝඩි' සමත් වුණා.

ප්‍රථම ස්ථානය හිමිව ඇත්තේ පසුගිය ජූලි මාසයේදී Sotheby's වෙන්දේසියෙන්ම ඩොලර් මිලියන 50.1කට අලෙවි වූ 'ගස්' (Gus) නමැති T. rex සැකිල්ලටයි.

2024 ජූලි මාසයේදී ඩොලර් මිලියන 44.6කට අලෙවි වූ 'ඇපෙක්ස්' (Apex) නමැති ස්ටෙගෝසෝරස් සැකිල්ල තෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

Sotheby's ආයතනය සඳහන් කළේ 'ජෝඩි' යනු ඇටකටු කොටස් 191කින් සහ ඉතා හොඳින් ආරක්ෂා වී ඇති සම්පූර්ණ හිස්කබලකින් සමන්විත, ප්‍රදර්ශනය සඳහා පරිපූර්ණ මට්ටමේ පවතින අතිශය දුර්ලභ ඩයිනසෝර සැකිල්ලක් බවයි.

මෙවැනි නැනෝටයිරෑනස් සැකිලි ලෝකයේම සොයාගෙන ඇත්තේ 3ක් පමණි.

මෙම ඩයිනසෝර සැකිල්ල ඇමෙරිකාවේ මොන්ටානා (Montana) ප්‍රාන්තයේ හෙල් ක්‍රීක් (Hell Creek) භූ විද්‍යාත්මක කලාපයෙන් සොයාගන්නා ලද්දේ ජෝඩි පියර්සන් (Jodi Pierson) නමැති ගොවිපොළ හිමිකාරිය විසින්.
Related recommendation
Hiru TV News | Programmes