International04 November 2026

69කට මරු කැඳවූ බිහිසුණු දුම්රිය අනතුරෙන් පසු ස්පාඤ්ඤ ප්‍රවාහන ඇමති ඉල්ලා අස්වෙයි

පුද්ගලයින් 69 දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ දරුණු දුම්රිය අනතුරෙන් දින 6කට පසු ස්පාඤ්ඤයේ ප්‍රවාහන අමාත්‍ය ඔස්කාර් පුවෙන්ටේ (Óscar Puente) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් 28 වැනිදා ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවරට දකුණින් පිහිටි උර්ඩා නගරය ආසන්නයේදී අධිවේගී දුම්රියක් නවතා තිබූ තවත් දුම්රියක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

අනතුරෙන් අවම වශයෙන් පුද්ගලයින් 69 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් රැසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙය මෑත කාලීන යුරෝපීය ඉතිහාසයේ දරුණුතම දුම්රිය අනතුරුවලින් එකක් ලෙස සැලකෙන අතර, 2013 වසරෙන් පසු ස්පාඤ්ඤයෙන් වාර්තා වූ දරුණුතම දුම්රිය අනතුර ද වනවා.

ඊයේ (03) ස්පාඤ්ඤ පාර්ලිමේන්තුව හමුවේ අනතුර සම්බන්ධයෙන් කරුණු දැක්වීමෙන් අනතුරුව ප්‍රවාහන අමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීම නිවේදනය කර තිබෙනවා.

වසරකට අඩු කාලයක් තුළ මෙවැනි බරපතළ දුම්රිය අනතුරු දෙකක් සිදුවීමෙන් පසු තමන්ට තවදුරටත් ප්‍රවාහන අමාත්‍ය ධුරයේ රැඳී සිටිය නොහැකි බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව, නොවැම්බර් 29 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට ඉදිරිපත් වීමෙන් ද තමන් ඉවත් වන බව ඔහු සඳහන් කර තිබෙනවා.

මීට පෙර ජනවාරි මාසයේදී එම දුම්රිය මාර්ගයේම සිදුවූ තවත් අනතුරකින් පුද්ගලයින් 46 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා.

අනතුරට හේතුව දුම්රිය සංඥා පද්ධතියේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් විය හැකි බවට සැක පළවී ඇති අතර, අනතුරට පෙර දුම්රිය රියදුරන් සහ පාලන මධ්‍යස්ථානය අතර සිදුවූ සංවාද ඇතුළත් හඬපට කිහිපයක් ද ස්පාඤ්ඤ මාධ්‍ය අනාවරණය කර තිබෙනවා.

එම හඬපටවලට අනුව, දුම්රිය මාර්ගයේ ඉදිරියෙන් තවත් දුම්රියක් නවතා තිබියදීත් පසුපසින් පැමිණි දුම්රියට සාමාන්‍ය වේගයෙන් ධාවනය කිරීමට අවසර ලබාදී ඇති බවට තොරතුරු හෙළිවී ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, අනතුරට නිශ්චිත හේතුව මෙතෙක් තහවුරු වී නොමැති බවයි වාර්තා වන්නේ.

ප්‍රවාහන අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේද්‍රෝ සැන්චෙස් ප්‍රකාශ කර ඇත්තේ, විපතට පත්වූවන්ට ගෞරවයක් වශයෙන් අමාත්‍යවරයා ස්වේච්ඡාවෙන් සිය ධුරයෙන් ඉවත් වූ බවයි.

මූලාශ්‍රය : BBC
Related recommendation
Hiru TV News | Programmes