General04 November 2026

2026 පොපි මල් දිනය නිමිත්තෙන් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සට පොපි මල පලඳවයි

2026 වර්ෂයේ පොපි මල් දිනය නිමිත්තෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත පොපි මල පැලඳවීම පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරුණා.

2026 වර්ෂයේ පොපි මල් කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ විසින් අමාත්‍යවරයා වෙත පොපි මල පැලඳවීම සිදු කරනු ලැබුවා.

පළමු හා දෙවන ලෝක යුද්ධවලදී දිවි පිදූ රණවිරුවන් ඇතුළු මාතෘභූමියේ ආරක්ෂාව වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ සන්නද්ධ හමුදා සාමාජිකයන්ගේ උදාර කැපවීම සිහිපත් කරමින් වාර්ෂිකව පොපි මල් දින සැමරුම පවත්වනු ලබනවා.

නොවැම්බර් 11 වැනිදාට ආසන්නතම ඉරිදා දිනයේදී පැවැත්වෙන අනුස්මරණ සැමරුම මඟින් රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට ගෞරව දැක්වීමත්, ඔවුන්ගේ කැපවීම සහ පරාර්ථකාමීත්වය අනාගත පරපුරට සිහිපත් කර දීමත් අරමුණු කෙරෙනවා.

පළමු ලෝක යුද්ධයෙන් දිවි පිදූ සෙබළුන් අනුස්මරණය කිරීමේ සංකේතයක් ලෙස පොපි මල භාවිතයට එක් වූ අතර, මහා බ්‍රිතාන්‍යයේ 1919 වසරේ සිට පොපි මල් අනුස්මරණ සම්ප්‍රදාය ක්‍රියාත්මකයි.

පසුකාලීනව මෙම සම්ප්‍රදාය රටවල් රැසක ව්‍යාප්ත වූ අතර, පොපි මල යුද්ධයේදී ජීවිත පූජා කළ සෙබළුන් සිහිපත් කිරීමේත්, ඔවුන්ගේ කැපවීම වෙනුවෙන් කෘතවේදීත්වය පළ කිරීමේත් සංකේතයක් බවට පත්ව තිබෙනවා.

මෙවර සන්නද්ධ හමුදා අනුස්මරණ හා පොපි මල් දින සැමරුම් උත්සවය නොවැම්බර් 08 වැනිදා පෙරවරුවේ කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පිහිටි සන්නද්ධ හමුදා සාමාජිකයන් අනුස්මරණය කිරීමේ ස්මාරකය අභියසදී ගරු ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes