International04 November 2026

AI හේතුවෙන් Canva සමාගමෙන් රැකියා කප්පාදුවක්

විද්‍යුත් නිර්මාණ සැලසුම් මෘදුකාංග දැවැන්තයෙකු වන 'කැනවා' (Canva) සමාගම, කෘත්‍රිම බුද්ධියේ (AI) බලපෑම හමුවේ යළිත් සිය ආයතනික ව්‍යුහය සකස් කරගැනීමේ අරමුණින් සේවකයන් දහසකට අධික පිරිසකගේ රැකියා කප්පාදු කිරීමට පියවර ගෙන තිබෙනවා.

සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙලනි පර්කින්ස් (Melanie Perkins) විසින් කාර්ය මණ්ඩලය වෙත යවන ලද ලිපියක දැක්වෙන්නේ, ආයතනයේ මුළු සේවක සංඛ්‍යාවෙන් සියයට 22ක් වන 1,271 දෙනෙකු මෙම තත්ත්වයෙන් ඉවත් කරනු ඇති බවයි.

ඇතැම් සේවකයන්ට රැකියා අහිමි වන අතර, තවත් පිරිසකට මධ්‍යගත මධ්‍යස්ථාන වෙත ස්ථාන මාරුවීම් ලබා දෙන ලෙසද දන්වා ඇති බව සඳහන්.

සිඩ්නි හි සරි හිල්ස් (Surry Hills) හි පිහිටි ඩොලර් බිලියන 44ක වටිනාකමකින් යුත් මෙම සමාගමේ වර්ධන වේගය දශකයකට පසු ප්‍රථම වරට මන්දගාමී වී ඇති පසුබිමක් තුළයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.

මෘදුකාංග ව්‍යාපාර කෙරෙහි කෘත්‍රිම බුද්ධියෙන් (AI) එල්ල විය හැකි බලපෑම් පිළිබඳ අවධානය යොමු කරමින් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

"මෙය අපගේ වසර 13ක ඉතිහාසයේ මුහුණ දුන් අසීරුම මොහොතයි" යනුවෙන් පර්කින්ස් එහිදී පවසා තිබෙනවා.

සමාගම සිය නිෂ්පාදන, වර්ධන සහ වේදිකා කණ්ඩායම් එකම සංවිධානයක් යටතට ඒකාබද්ධ කිරීමට සහ කළමනාකරණ ස්ථර කප්පාදු කිරීමට මේ අනුව නියමිතයි.

රැකියා අහිමි වන සේවකයන්ට අවම වශයෙන් මාස හයක වැටුපක්, සෞඛ්‍ය රක්ෂණ ප්‍රතිලාභ මෙන්ම ඔවුන්ගේ මැක්බුක් (MacBook) පරිගණක තබා ගැනීමට ද අවසර ලබා දී තිබෙනවා.

AI තාක්ෂණයේ වර්ධනයත් සමඟ ඕස්ට්‍රේලියාවේ තාක්ෂණික කර්මාන්ත ක්ෂේත්‍රය තුළ පුළුල් ලෙස රැකියා කප්පාදු සිදුවෙමින් පවතින අතර, මීට පෙර WiseTech Global, Atlassian සහ Block වැනි ප්‍රධාන පෙළේ සමාගම් ද මෙලෙස සේවක කප්පාදු කිරීම් සිදු කර තිබුණා.

Related recommendation
Hiru TV News | Programmes