General04 November 2026

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් - ප්‍රදේශ රැසක ජනතාවට විමසිලිමත් වන ලෙස දැනුම්දීමක්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 06ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

අද (04) පස්වරු 4 සිට හෙට (05) පස්වරු 4 දක්වා පැය 24ක කාලයක් සඳහා මෙම අනතුරු ඇඟවීම් වලංගු වනවා.

ඒ අනුව, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා මට්ටම් 2 යටතේ ඇම්බර් (Amber) අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

එම මට්ටම යටතේ මාතර දිස්ත්‍රික්කයේ කොටපොළ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන හා ගොඩකවෙල යන ප්‍රදේශ සඳහා අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

මීට අමතරව බදුල්ල, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා මට්ටම් 1 යටතේ කහ පැහැති (Yellow) විමසිලිමත් වීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව,

බදුල්ල දිස්ත්‍රික්කය: වැලිමඩ, හපුතලේ, ඇල්ල, පස්සර, කන්දකැටිය, හල්දුම්මුල්ල සහ මීගහකිවුල.

මහනුවර දිස්ත්‍රික්කය: යටිනුවර, මාදම්පේ, හතරලියැද්ද, තුම්පනේ, උඩුනුවර, දොළුව, මැදදුම්බර සහ උඩදුම්බර.

කෑගල්ල දිස්ත්‍රික්කය: රඹුක්කන, රුවන්වැල්ල, අරණායක, යටියන්තොට, බුලත්කොහුපිටිය, කෑගල්ල සහ මාවනැල්ල.

මාතලේ දිස්ත්‍රික්කය: පල්ලේපොළ.

නුවරඑළිය දිස්ත්‍රික්කය: අම්බගමුව, නෝර්වුඩ්, වලපනේ, හඟුරන්කෙත සහ කොත්මලේ බටහිර.

රත්නපුර දිස්ත්‍රික්කය: කහවත්ත සහ පැල්මඩුල්ල.

විශේෂයෙන් බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම්, පොළොව ගිලා බැසීම් සහ පස් කණ්ඩි කඩා වැටීම් සිදුවිය හැකි අනතුරුදායක ප්‍රදේශ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

අවශ්‍ය වුවහොත් ආරක්ෂිත ස්ථානයකට යාමට සූදානම් වන ලෙසත්, ඇතිවිය හැකි ආපදා තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


#HiruNews #HiruNewsLK #TruthAtAllCosts
Related recommendation
Hiru TV News | Programmes