General04 November 2026

සරසවියක් තිබුණට පහසුකම් කෝ? කොළඹ සරසවි සිසුන් විරෝධතාවක

කොළඹ විශ්වවිද්‍යාලයේ පවතින අඩුපාඩු රැසකට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා එම විශ්වවිද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමය අද (4) පස්වරුවේ විරෝධතාවක නිරත වුණා.

විරෝධතා පාගමනකින් College House ඉදිරිපිටට පැමිණි සිසුන් එහිදී මෙම විරෝධතාව පැවැත්වූයේ අංගසම්පූර්ණ පීඨ සංකීර්ණයක් ඉදිකිරීමට ප්‍රතිපාදන වෙන් කිරීම, නේවාසිකාගාර පහසුකම් පුළුල් කිරීම සහ නූතන ලෝකයට ගැළපෙන පරිදි උසස් අධ්‍යාපන පාඨමාලා යාවත්කාලීන කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්.

විශ්වවිද්‍යාලයේ සිසුන්ගෙන් සුළු පිරිසකට පමණක් නේවාසිකාගාර පහසුකම් හිමිවන බවත්, තාක්ෂණ පීඨයේ මූලික පහසුකම් පවා ප්‍රමාණවත් නොවන බවත් විරෝධතාවට එක්ව සිටි සිසුන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.

මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පරිපාලනය සහ අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කළද මෙතෙක් සාධනීය විසඳුමක් ලැබී නොමැති බව පවසන සිසුන්, තම ඉල්ලීම්වලට විසඳුම් ලැබෙන තෙක් අරගලය අඛණ්ඩව ගෙනයන බවද අවධාරණය කළා.
Related recommendation
Hiru TV News | Programmes