General04 November 2026

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතින් ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව නොමඟ යවා ඇති බවක් පෙනී යනවා - ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සකස් කිරීමේදී කිසියම් පාර්ශ්වයක් විසින් ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව නොමඟ යවා ඇති බවක් පෙනී යන බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රීපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ අද (04) ප්‍රකාශ කළා.

ජනාධිපති නීතිඥවරයා මේ බව සඳහන් කළේ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (04) විභාගයට ගත් අවස්ථාවේදීයි.

අගවිනිසුන් ප්‍රීතිපත්මන් සුරසේන, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙන්ගප්පුලි සහ සම්පත් අබේකෝන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැණුනා.

එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පෙන්වා දුන්නේ, මෙම පනත් කෙටුම්පතේ පූර්විකාව තුළ සඳහන් කර ඇති ජාත්‍යන්තර සම්මුතිය ශ්‍රී ලංකාව තුළ අපරානුමත කිරීම සඳහා පනත ගෙන එන බව සඳහන් වුවද එම කාර්යය පනත් කෙටුම්පත මඟින් නිසි පරිදි සිදු නොවන බවයි.

අදාළ ජාත්‍යන්තර සම්මුතියේ අන්තර්ගත නොවන කරුණු රැසක් පනත් කෙටුම්පතට ඇතුළත් කර ඇති බවත්, එම සම්මුතියේ නිශ්චිත විධිවිධාන ඉක්මවා යමින් ඇතැම් කරුණුවලදී ඊට පටහැනි ආකාරයෙන් පනත සකස් කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

මෙම පනත් කෙටුම්පත යටතේ වැරදි වර්ග තුනක් හඳුන්වා දී ඇති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එම වර්ගීකරණය ජාත්‍යන්තර සම්මුතියේ ක්‍රමවේදයට අනුකූල නොවන බවද සඳහන් කළා.

විශේෂයෙන්ම පනත් කෙටුම්පතේ උපලේඛනයට බුද්ධිමය දේපළ පනතද ඇතුළත් කර තිබීම හේතුවෙන් ප්‍රකාශන හිමිකම් සහ වෙළෙඳ නාම උල්ලංඝණය කිරීම් පවා මෙම පනත යටතේ බරපතල වැරදි බවට පත්විය හැකි බවද ඔහු පෙන්වා දුන්නා.

එමෙන්ම සොරකම් කිරීම සහ අල්ලස් ලබාගැනීම වැනි වැරදිද මෙම පනත යටතේ බරපතල අපරාධ ලෙස වර්ගීකරණය කිරීමේ හැකියාව පවතින බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

මෙවැනි වැරදි සම්බන්ධයෙන් ඕනෑම පොලිස් නිලධාරියෙකුට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ බලය හිමිවන බවත්, ඉන් අනතුරුව පොලිසියේ ඉහළ නිලධාරීන්ට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා හරහා රැඳවුම් නියෝග ලබාගැනීමේ හැකියාව පවතින බවත් ඔහු අධිකරණයට පෙන්වා දුන්නා.

එසේ රැඳවුම් නියෝග ලබා නොගෙන සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවක මහේස්ත්‍රාත්වරයාට ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සිදුවන බවත්, එවැනි අවස්ථාවක ඇප ලබාදීමේ හැකියාවක් නොමැති බවටත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

මෙම විධිවිධාන හරහා අධිකරණයේ බලතල දැඩි ලෙස සීමා වන බව හා පුද්ගල නිදහසටද බරපතල බලපෑමක් එල්ල වන බව ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව, මෙම පනත් කෙටුම්පත සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එය අදාළ ජාත්‍යන්තර සම්මුතියට අනුකූල නොවන බැවින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් මෙන්ම ජනමත විචාරණයකින්ද අනුමත කළ යුතු බවත් ජනාධිපති නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ඒ අනුව, මෙම පෙත්සම විභගයට ගනු ලැබූ අවස්ථාවේදී මාධ්‍යවේදී මාලිංග චන්දන පීරිස් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කරුණු දක්වමින් මෙසේ පැවසුවා.

“මෙම සංවිනාත්මක අපරාධ පනත් කෙටුම්පතේ වගන්ති මගින් සෘජුවම ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ විවිධානයන් උල්ලංඝණය වනවා. මෙම පනතේ 44වන ඡේදය යටතේ රැඳවුම් නියෝගයක් නොමැතිව පුද්ගලයෙක් ඉදිරිපත් කළ විට රිමාන්ඩ් කිරිම හැර මහෙස්ත්‍රාත්වරයෙකුට කළ හැකි වෙනත් දෙයක් නැහැ. පනත් කෙටුම්පතේ වහන්තීන් අනුව රැඳවුම් නියෝගය යන්න අර්ථකථනය කිරීම පැහැදිලි නැහැ. අනිත් අතට බරපතල අපරාධයක් යන්න පැහැදිලිව නිර්වචනය කර නෑ.

බුද්ධිමය දේපළ පනත යටතේ යම් පුද්ගලයෙකු වරදක් කළහොත් හෝ සුරාබදු පනත යටතේ වරදක් කළොත් වෙළඳ ලකුණු ආදිය සම්බන්ධයෙන් වරදක් කළොත් මේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඔහුව රිමාන්ඩ් කරන්න පුළුවන් බරපතල අපරාධ පිළිබඳ නිර්වචනයට සීමා මායිම් පැහැදිලිව මෙහි සඳහන් කර නැහැ.

මේ මගින් පුද්ගල නිදහසට විශාල බලපෑමක් සිදුවෙනවා. මේ අවස්ථාවේදී අධිකරණය අවධානය යොමු කරන්න කැමතියි බ්‍රෙස්ගර්ඩ් නමැති ප්‍රසිද්ධ නඩුව.

එම නඩුවේදී එවකට සිටි අග්‍රවිනිශ්චයකාරවරයා පැහැදිලිව සඳහන් කර තිබෙනවා පුද්ගලයන්ගේ නිදහස වැඳගත් බවත් එම පුද්ගලයාගේ නිදහස විධායකයට තින්දු තීරණ මගින් එම නිදහස අවහිර කිරීමට නොහැකි බවත් පැහැදිලිව සඳහන් වී තිබෙනවා.

මීට අමතරව හිටපු අගවිනිසුරු සමරකෝන් මහතා ද පුද්ගලයන්ගේ නිදහස පිළිබඳ සිය නඩු තීන්දු කීපයකදීම පැහැදිලිව අවධාරණය කර තිබෙනවා.

පනත් කෙටුම්පතේ විවිධාන මගින් පුද්ගලයෙකු රිමාන්ඩ් භාරයට පත් කිරීම සම්බන්ධයෙන් අධිකරණයට මැදිහත්වීමේ සීමාව බරපතල ලෙස උල්ලංඝණය කර තිබෙනවා.”

අනතුරුව ග්‍රි ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මෙසේ ප්‍රකාශ කළා.

“මෙම පනත් කෙටුම්පතේ විවිධාන අනුව සමාජීය රැස්වීමත් පවුලේ රැස්වීමක් ආදියත් සංවිධානත්ම අපරාධයක් ලෙස සලකා එවැනි පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබෙනවා.

ශරීරයේ පච්චකොටා සිටින හෝ විශේෂිත ඇඳුමක් ඇති පුද්ගලයෙකු වුණත් සංවිධාන අපරාධ සංවිධානයක සාමාජික වශයෙන් සලකා අත්අඩංගුවට ගැනීමට මෙම පනතේ විධිවිධාන අනුව විමර්ශන නිලධාරියෙකුට පැමිණිල්ල ඉදිරිපත් කිරීමේ තීරණාත්මක බලය ලබා තිබී තිබෙනවා. ඒ මඟින් විමර්ශන නිලධාරියාට යම් පුද්ගලයකු සම්බන්ධ චෝදනාවක් ඉදිරිපත් කිරීමේ අත්තනෝමතික බලයක් ලැබී තිබෙනවා.

තවද පනතේ විධි විධාන අනුව පොලිස් නිලධාරියෙකුට අති විශේෂ බලතල ලැබෙනවා ඕනෑම පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හෝ යම් ස්ථානයක් සෝදිසි කිරීම්වලට. මෙය සම්පූර්ණයෙන්ම පුද්ගල නිදහස උල්ලංඝණය වීමක්.

පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පැය 72ක් තබා ගැනීමට මෙම පනත යටතේ පොලීසියට බලය ලැබී තිබෙනවා. සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යස්ථා කඩකිරීමක් වෙනවා. අත්තනෝමතික බලයක්. මෙම පනත යටතේ නිදහසේ රැස්වීමේ බලය උල්ලංඝණය වෙනවා. යම් කිසි පුද්ගලයෙකු නිදහසේ රැස්වුණත් සංවිධානාත්මක අපරාධයක සාමාජිකයකු වශයෙන් අත්අඩංගුවට ගැනිමට ආරක්ෂිණ නිලධාරීන්ට බලය ලැබෙනවා.”

හිටපු ගුවන් හමුදා නිලධාරියෙකු වන ශාන්ති ජයතිලක කරුණු දක්වමින් කියා සිටියේ පච්චකෙටීමක් හෝ වෙනස් ඇඳුම් ඇඟලා සිටිම, ආගමික සංකේතයක් හෝ පුද්ගලික ලක්ෂණයක් පදනම් කරගෙන යම් පුද්ගලයෙකුට සංවිධානාත්මක අපරාධ සාමාජිකයකු බවට සලකා අත්අඩංගුවට ගත හැකියි.

පෞද්ගලික සමාගමක් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ ඉරාජ් ද සිල්වා කියා සිටියේ මෙම පනතේ විධිවිධාන අනුව සුරාබදු නිලධාරීන්ට සුවිශේෂිත බලයක් ලැබෙන අතර, ගෙදර පුටුවක් නොදුන්නොත් එම නිලධාරියාට ඔහුව අත්අඩංගුවට ගැනීමේ බලයක් ලැබෙන බවත් ඒ අනුව මෙම පනත මගින් අත්තනෝමතික වෙනම පාලනයක් පිහිටුවන බවත්ය.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිට ජනාධිපති නීතිඥ සුරේන් ප්‍රනාන්දු කියා සිටියේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ බලය සම්පූර්ණයෙන්ම විමර්ශන නිලධාරියාට හිමිවන බවත් එමගින් බලය අවභාවිත වන බවත්ය.

සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට ජනමත විචාරණයක් හෝ විශේෂ මන්ත්‍රී සංඛ්‍යාවකගේ ඡන්දයෙන් එය සම්මත කිරීමට නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලා ග්‍රි ලංකා නීතිඥ සංගමය, ඩිස්ටිලිරිස් සමාගම ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබුණා.

පෙත්සම්කරුවන් වෙනුවෙන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන සංජීව ජයවර්ධන, සාලිය පීරිස්, ඒම්. ඒ. සුමන්තිරන්, ඉරාජ් ද සිල්වා, අලි සබ්රි, නවීන් මාරපන සහ නීතිඥ සුරෙන් ඥාණරාජ, නීතිඥ ලක්ෂාන් ඩයස්, නීතිඥ රුක්ෂාන් සේනාධීර, නීතිඥ රුවන්ත කුරේ අධිකරණය හමුවේ පෙනී සිටියා.

නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශී හේරත්, ආචාර්ය අවන්ති පෙරේරා, අතිරේක සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා සමග සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න පෙනී සිටියා.
Related recommendation
Hiru TV News | Programmes