International04 November 2026

වංචා චෝදනාවලට සාක්ෂි නැහැ - ඊශ්‍රායල මැතිවරණ ප්‍රතිඵල නිල වශයෙන් තහවුරු කෙරේ

පසුගිය ඔක්තෝබර් 27 වැනිදා පැවති මහ මැතිවරණයේදී වංචාවක් සිදුවූ බවට එල්ල වූ චෝදනාවලට කිසිදු සාක්ෂියක් හමු නොවීමත් සමඟ ඊශ්‍රායල මධ්‍යම මැතිවරණ කොමිසම එහි ප්‍රතිඵල නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ, අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ සහායක පාර්ශ්වය මැතිවරණ ප්‍රතිඵල පිළිබඳව එල්ල කළ චෝදනා මධ්‍යයේ මෙම තීරණය ගෙන ඇති බවයි.

තහවුරු කළ මැතිවරණ ප්‍රතිඵල ඊයේ (4) ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග් වෙත භාරදී තිබෙන අතර, මීළඟ රජය පිහිටුවීම සඳහා සුදුසු අපේක්ෂකයා තෝරා ගැනීමට ජනාධිපතිවරයා දේශපාලන කණ්ඩායම්වල නායකයන් සමඟ දින දෙකක සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් සඳහන්.

මෙවර මැතිවරණයේදී නෙතන්යාහු ප්‍රමුඛ පාර්ශ්වයට පාර්ලිමේන්තු ආසන 53ක් හිමිව ඇති අතර, ගාඩි අයිසන්කොට්ගේ විපක්ෂ කණ්ඩායමට ආසන 48ක් හිමිව තිබෙනවා. අරාබි පක්ෂ දෙක වන රාම් සහ ඒකාබද්ධ ලැයිස්තුවට ආසන 19ක් හිමිවීමද විශේෂත්වයක්.

ආසන 120කින් සමන්විත ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිකර ගැනීමට ආසන 61ක් අවශ්‍ය වුවත්, කිසිදු පාර්ශ්වයකට එම සීමාව පසුකර යාමට හැකි වී නැහැ.

මේ අතර, අරාබි පක්ෂ මැතිවරණය සොරකම් කළ බවට නෙතන්යාහු සහ ඔහුගේ සහායකයින් සාක්ෂි ඉදිරිපත් නොකරමින් නැවත නැවතත් චෝදනා කර තිබෙනවා.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුද වන නෝම් සොල්බර්ග් ප්‍රකාශ කර ඇත්තේ මැතිවරණ ප්‍රතිඵල පිළිබඳ සැක මතු කිරීම ඊශ්‍රායල ප්‍රජාතන්ත්‍රවාදයට සැබෑ තර්ජනයක් බවයි.

ජනාධිපති හර්සොග් ද ප්‍රකාශ කර ඇත්තේ මැතිවරණයෙන් පැහැදිලි ජයග්‍රාහකයෙකු බිහි නොවූ පසුබිමක, නැවත මැතිවරණයක් පැවැත්වීම වැළැක්වීමට සියලු පාර්ශ්ව නිර්මාණශීලීව සහ එකඟතාවයෙන් කටයුතු කළ යුතු බවයි.


මූලාශ්‍රය - Aljazeera

#HiruNews #HiruNewsLK #TruthAtAllCosts
Related recommendation
Hiru TV News | Programmes