International05 November 2026

අඛණ්ඩ ගෑස් සැපයුමක් සහතික කරගන්න ඉන්දියාවෙන් කටාර් රාජ්‍යයට අලුත් යෝජනාවක්


ඉරාන අර්බුදය හේතුවෙන් ඇති වූ සැපයුම් බාධා හමුවේ, ද්‍රවීකෘත ස්වාභාවික ගෑස් (LNG) ආනයන මූලාශ්‍ර විවිධාංගීකරණය කිරීම සඳහා ඉන්දියාව ඉදිරිපත් කළ යෝජනාවකට සාධනීය ප්‍රතිචාරයක් දැක්වීමට කටාර් රාජ්‍යය සූදානමින් සිටින බව වාර්තා වනවා.

ඒ අනුව, ඉන්දියාව සහ කටාර් රාජ්‍යය අතර අලුත් කර ඇති දීර්ඝකාලීන ගෑස් සැපයුම් ගිවිසුම යටතේ අමෙරිකා එක්සත් ජනපදයෙන් ලබාගන්නා LNG ප්‍රමාණයෙන් කොටසක් ඉන්දියාවට ලබාදීම පිළිබඳව කටාර් රාජ්‍යයේ අවධානය යොමුව තිබෙනවා.

ඉන්දියාවේ ප්‍රධානතම ගෑස් ආනයනකරු වන පෙට්‍රොනෙට් LNG සමාගම, 2028 වසරේ සිට ක්‍රියාත්මක වන දීර්ඝකාලීන සැපයුම් ගිවිසුම යටතේ අමෙරිකාවෙන් ලබාගන්නා LNG ප්‍රමාණයෙන් කොටසක් ඉන්දියාවට ලබාගැනීම සම්බන්ධයෙන් කටාර් රාජ්‍යය සමඟ සාකච්ඡා කරමින් සිටින බව එම සමාගමේ සමූහ සාමාන්‍යාධිකාරී විවේක් මිට්ටාල් විශ්ලේෂකයන් හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

දැනට කටාර් රාජ්‍යය, පෙට්‍රොනෙට් සමාගමට වසරකට LNG මෙට්‍රික් ටොන් මිලියන 7.5ක් සැපයීමට ගිවිසුම්ගතව සිටිනවා.

2028 අප්‍රේල් මාසයෙන් අවසන් වීමට නියමිතව තිබූ මෙම ගිවිසුම තවත් වසර 20ක කාලයක් සඳහා එනම් 2048 දක්වා අලුත් කර ඇති අතර, එම ගිවිසුම යටතේ ගෑස් තොග ඉන්දියාවටම ප්‍රවාහනය කර භාරදීමට කටාර් රාජ්‍යය එකඟ වී තිබෙනවා.

ඉන්දියාව ඉදිරිපත් කළ යෝජනාව සලකා බැලීමට කටාර් රාජ්‍යය කැමැත්ත පළ කර ඇති බවත්, දැනටමත් ගිවිසුම්ගතව ඇති වෙනත් මූලාශ්‍රවලින් ගෑස් ප්‍රමාණයක් ලබාදීමට කටාර් රාජ්‍යයට හැකියාව පවතින බවත් විවේක් මිට්ටාල් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මුලාශ්‍රය - Reuters
Related recommendation
Hiru TV News | Programmes