International05 November 2026

දේශපාලන ඉතිහාසයේ දැවැන්තම වියදමත් අපතේ: මස්ක්ට අමෙරිකානු මැතිවරණයෙන් ප්‍රබල පසුබෑමක්!

අමෙරිකාවේ මධ්‍යවාර මැතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂයට ජයග්‍රහණය ලබාදීම සඳහා ලොව ධනවත්ම පුද්ගලයින් අතර සිටින එලෝන් මස්ක් වැය කළ අමෙරිකානු ඩොලර් මිලියන 450කට ආසන්න මුදල ද එම පක්ෂයේ දැවැන්ත පරාජය වළක්වා ගැනීමට ප්‍රමාණවත් වී නොමැති බව BBC පුවත් සේවය වාර්තා කරනවා.

මෙම මුදල බ්‍රිතාන්‍ය පවුම් මිලියන 334කට ආසන්න වන අතර, අමෙරිකානු මැතිවරණයකදී එක් පුද්ගලයෙකු විසින් දේශපාලන අපේක්ෂකයින් වෙනුවෙන් වැය කළ වැඩිම මුදල ලෙස ද එය සඳහන් වෙනවා.

කෙසේ වෙතත්, මෙවර මධ්‍යවාර මැතිවරණයෙන් ඩිමොක්‍රටික් පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමත් සමග මස්ක්ගේ දැවැන්ත මූල්‍ය සහාය අපේක්ෂිත ප්‍රතිඵල ලබාදී නොමැති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

විශේෂයෙන් ටෙක්සාස් ප්‍රාන්තයේ සෙනෙට් ආසනයක් සඳහා තරග කළ රිපබ්ලිකන් අපේක්ෂක කෙන් පැක්ස්ටන්ට සහාය දැක්වීම වෙනුවෙන් පමණක් මස්ක් අවම වශයෙන් ඩොලර් මිලියන 45ක් වැය කර තිබෙනවා.

එහෙත් එම තරගයෙන් ඩිමොක්‍රටික් අපේක්ෂකයා ජයග්‍රහණය කිරීම මස්ක්ට එල්ල වූ ප්‍රබල දේශපාලන පසුබෑමක් ලෙස සැලකෙනවා.

ටෙක්සාස් ප්‍රාන්තයට අමතරව ඇරිසෝනා, මිචිගන්, විස්කොන්සින් සහ මිනසෝටා යන ප්‍රාන්තවල රිපබ්ලිකන් අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ද මස්ක් ඩොලර් මිලියන ගණනක් වැය කර තිබුණා.

මැතිවරණයට පෙර සඳුදා දිනය දක්වාම ඔහුගේ දේශපාලන වියදම් සිදුව ඇති බව මැතිවරණ මූල්‍ය වාර්තා අනාවරණය කරනවා.

රිපබ්ලිකන් පක්ෂයට අහිමි වූ බලය එලෝන් මස්ක්ගේ ව්‍යාපාරික අධිරාජ්‍යයට ද සැලකිය යුතු බලපෑමක් එල්ල කළ හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

ට්‍රම්ප් දෙවන වරට ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව මස්ක්ට අයත් SpaceX සමාගමට අමෙරිකානු රජයෙන් ඩොලර් බිලියන 10කට ආසන්න නව කොන්ත්‍රාත්තු හිමිව ඇති බව ඇස්තමේන්තු කර තිබෙනවා.

එම සමාගම රජයේ සහ ජාතික ආරක්ෂක කටයුතුවලට සම්බන්ධ වී ඇති ආකාරය පිළිබඳ විමර්ශන සිදුකළ යුතු බව ඩිමොක්‍රටික් නීති සම්පාදකයින් කිහිපදෙනෙකු මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

මේ අතර, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා භාවිත කරන දැවැන්ත දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීම සම්බන්ධයෙන් ද නව සීමා සහ නියාමන පැනවීමේ අවදානමක් මතුව තිබෙනවා.

ජෝර්ජියා ප්‍රාන්තයේ අලුතින් තේරී පත්වූ ඩිමොක්‍රටික් ආණ්ඩුකාරවරයා දත්ත මධ්‍යස්ථානවල ව්‍යාප්තිය සහ තාක්ෂණ සමාගම් සඳහා ලබාදෙන විශාල බදු සහන සීමා කිරීම තම මැතිවරණ පොරොන්දුවක් බවට පත්කරගෙන තිබුණා.

මැතිවරණයෙන් පසුව අමෙරිකානු තාක්ෂණ සමාගම්වලට දැඩි නියාමන පියවරවලට මුහුණ දීමට සිදුවිය හැකි බව ආයෝජන විශ්ලේෂකයින් අනතුරු අඟවනවා.

AJ Bell ආයතනයේ ආයෝජන විසඳුම් ප්‍රධානී ජේම්ස් ෆ්ලින්ටොෆ් පෙන්වා දී ඇත්තේ, ඩිමොක්‍රටික් පක්ෂයේ දැවැන්ත ජයග්‍රහණය හේතුවෙන් තාක්ෂණ ක්ෂේත්‍රයේ ආයෝජකයින්ට අවිනිශ්චිත තත්ත්වයකට මුහුණ දීමට සිදුවිය හැකි බවයි.

මැතිවරණයට පෙර රිපබ්ලිකන් පක්ෂයට ඡන්දය ලබාදෙන ලෙස මිලියන 241කට අධික සිය X අනුගාමිකයින්ගෙන් ඉල්ලා සිටි එලෝන් මස්ක්, මැතිවරණයෙන් අනතුරුව එම ප්‍රචාරක සටහන් කිහිපයක් ඉවත් කර ඇති බව BBC වාර්තා කරනවා.

ඩිමොක්‍රටික් පක්ෂය ජයග්‍රහණය කිරීම සම්බන්ධයෙන් තමන්ට ඇති කනස්සල්ල විස්තර කරමින් X ගිණුමේ තබා තිබූ සටහන ද ඔහු ඉවත් කර ඇති බව සඳහන්.

එමෙන්ම රිපබ්ලිකන් පක්ෂයට ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලා පළ කළ සටහනක් ද ඔහුගේ ගිණුමෙන් ඉවත් කර ඇති බව වාර්තා වනවා.

ඉන් අනතුරුව දේශපාලන කටයුතු වෙනුවට තම xAI සමාගම නිපදවන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය පිළිබඳ සටහන් පළ කිරීමට මස්ක් වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

මූලාශ්‍රය : BBC
Related recommendation
Hiru TV News | Programmes