General05 November 2026

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමග පාසල් කාලසටහන් සංශෝධනයට නව චක්‍රලේඛයක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සමගාමීව ලබන වසරේ සිට පාසල්වල ශ්‍රේණි අනුව පැවැත්වෙන කාලය සංශෝධනය කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් පාසල් කාලසටහන් සකස් කළ යුතු ආකාරය දැනුම් දෙමින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර, එහි උපදෙස් සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට, අධ්‍යාපන ලේකම්වරුන්ට, අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට සහ විදුහල්පතිවරුන්ට යොමු කර තිබෙනවා.

ඒ අනුව ලබන වසරේ සිට 1 සහ 2 ශ්‍රේණි සඳහා පාසල් පැවැත්වෙන්නේ උදෑසන 7.30 සිට පෙරවරු 11.45 දක්වායි.

3 සහ 4 ශ්‍රේණි සඳහා පාසල් කාලය උදෑසන 7.30 සිට පස්වරු 1 දක්වා වන අතර, 5 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පාසල් පැවැත්වෙන කාලය උදෑසන 7.30 සිට පස්වරු 1.30 දක්වා සංශෝධනය කර තිබෙනවා.

මේ වසර ආරම්භයේදී 1 ශ්‍රේණිය සඳහා නව විෂයමාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ අතර, එහි ඊළඟ අදියර ලෙස ලබන වසරේදී 2 සහ 6 ශ්‍රේණි සඳහා ද නව විෂයමාලා හඳුන්වා දීමට නියමිතයි.

ඉන් අනතුරුව එම සිසුන් ශ්‍රේණියෙන් ශ්‍රේණිය ඉහළට යාමත් සමඟ නව විෂයමාලා ක්‍රමවේදය ක්‍රමානුකූලව ඉදිරියට ගෙන යාමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව මේ වනවිට 1 ශ්‍රේණියේ සිටින දරුවන් 5 ශ්‍රේණියට පැමිණෙන වසරේදී එම ශ්‍රේණියට ද නව විෂයමාලා ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙනු ඇති.

නව විෂයමාලා ප්‍රතිසංස්කරණ සාමාන්‍ය පෙළ සඳහා 2030 වසරේදීත්, උසස් පෙළ සඳහා 2033 වසරේදීත් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes