General05 November 2026

කොළඹ 07 බාන්ස් පෙදෙසේ ඉඩමක් ව්‍යාජ ඔප්පු මගින් විකිණීමේ සිද්ධියට සැකකරුවන් තිදෙනක් යළි රිමාන්ඩ්

කොළඹ 07 බාන්ස් පෙදෙස පිහිටි ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර රුපියල් මිලියන ගණනක මුදලකට අලෙවි කළ බව කියන සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් තිදෙනකු ලබන 12 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම  අද(05) නියෝග කළා.

එම සැකකරුවන් තිදෙනාට අදාළ සාක්ෂි සම්පීණ්ඩන වාර්තා ගොනු කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ට නියෝග කළා.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී සියලු සැකකරුවන් අධිකරණයේ පෙනී සිටි අතර, 3, 4 සහ 5 වන සැකකරුවන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ, මෙම ඉඩම් ගනුදෙනුවට අදාළව නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහ සෙලාන් බැංකුවේ ශාඛා කිහිපයකින් අදාළ ගිණුම්වලට මුදල් තැන්පත් කර ඇති බවයි.

3 වන සැකකරුගේ ගිණුමකට රුපියල් ලක්ෂ 50 බැගින් අවස්ථා තුනකදී, රුපියල් ලක්ෂ 15ක මුදලක් සහ රුපියල් 45ක මුදලක් තැන්පත් කර ඇති බවත්, වෙනත් ගිණුමකට රුපියල් 45ක මුදලක් තැන්පත් කර ඇති බවත් විමර්ශන නිලධාරීහු පැවසූවා.

මීට අමතරව, DFCC සහ පෑනේෂියා බැංකු ශාඛාවලින් තවදුරටත් ලේඛන ලැබීමට නියමිත බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් ඔවුහු අධිකරණයට දැනුම් දුන්නා.

3, 4 සහ 5 වන සැකකරුවන්ට ඇප ලබාදීමට විරුද්ධත්වය පළ කළ විමර්ශන නිලධාරීහු, විමර්ශන තවමත් අවසන් වී නොමැති බවත්, සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවිය හැකි බවට තොරතුරු ලැබී ඇති බවත් පැවසූවා.

5 වන සැකකරුගේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කිරීමට ඇති බවත්, සිද්ධියට අදාළව තවත් සැකකරුවන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් විමර්ශන නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්නා.

1 වන සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ, සැකකරු මේ වන විටත් දෙවරක් ප්‍රකාශ ලබා දී ඇති බව පැවසුවා.

3 වන සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, සිය සේවාදායකයා ව්‍යාපාරයකයෙකු බවත්, ඔහුගේ බැංකු ගිණුම්වල ඇති මුදල් එම ව්‍යාපාරික කටයුතුවලට අදාළ බවත් ප්‍රකාශ කළා.

ඉඩම් ඔප්පු ව්‍යාජ බවට 2023 වසරේදී ප්‍රකාශ ලබාගෙන තිබුණ ද, වසර තුනහමාරක් ගතවන තුරු රජයේ රස පරීක්ෂකවරයා ලවා එම ලේඛන සහ අත්සන් ව්‍යාජ ද යන්න තහවුරු කර ගැනීමට පරීක්ෂණ සිදු කර නොමැති බවට ද නීතිඥවරයා තර්ක කළා.

4 වන සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය සේවාදායකයා 'ගනේමුල්ල සංජීව' නමැත්තාගේ සමීපතයෙකු ලෙස හඳුන්වා දී තිබුණ ද, ඔහුට කිසිදු අපරාධ පූර්ව වැරැද්දක් හෝ අපරාධ නඩුවක් නොමැති බවයි.

ඔහුට පවතින්නේ එක් සිවිල් නඩුවක් පමණක් බවත්, පොලිසියට හෝ රාජ්‍ය බුද්ධි අංශවලට සැඟවී නොසිටි ඔහු ස්වයංක්‍රීයවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ භාර වූ බවත් නීතිඥවරයා සඳහන් කළා.

තමන් නොකළ වරදක් පිළිගන්නා ලෙස කළ බලපෑම් ප්‍රතික්ෂේප කර ඇති ඔහු, 1 වන සැකකරුගේ උපදෙස් මත දේපළ ආරවුලට මැදිහත් වූවා පමණක් බවත්, කිසිදු සාක්ෂිකරුවකුට බලපෑම් කර නොමැති අතර විමර්ශන සඳහා පූර්ණ සහය ලබාදී ඇති බවත් නීතිඥවරයා පැවසුවා.

දෙපාර්ශවයේම කරුණු විමසා බැලූ මහේස්ත්‍රාත්වරයා, විමර්ශන අවසන් වී නොමැති වීම සහ සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවිය හැකි බවට පැමිණිල්ල ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන 3, 4 සහ 5 වන සැකකරුවන් ලබන 12 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.
Related recommendation
Hiru TV News | Programmes