Business02 October 2026

චීන වෙළෙඳපොළ කඩා වැටෙද්දී Nike තවත් රැකියා කප්පාදුවකට සැරසෙයි

චීනයේ අලෙවිය පහත වැටීම ඇතුළු ව්‍යාපාරික අභියෝග හමුවේ Nike සමාගම සිය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ තවදුරටත් පුළුල් කරමින් තවත් රැකියා කප්පාදුවකට සූදානම් වන බව රොයිටර් පුවත් සේවය සඳහන් කරනවා.

ප්‍රධාන විධායක නිලධාරී Elliott Hill යටතේ සමාගමේ ගෝලීය ව්‍යාපාරික අංශවල වෙනස්කම් සිදු කිරීමටද Nike සමාගම සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

සමාගම ඉදිරි මූල්‍ය වර්ෂය සඳහා අපේක්ෂා කළ ආදායමට වඩා සැලකිය යුතු ලෙස අඩු ආදායමක් පුරෝකථනය කිරීමත් සමග මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

විශේෂයෙන්ම චීනයේ Nike අලෙවිය පළමු කාර්තුවේදී ස්ථාවර විනිමය අනුපාත පදනම මත සියයට 26කින් පහත වැටී ඇති බව සඳහන්.

නව මෙහෙයුම් ආකෘතිය යටතේ රැකියා කප්පාදු කිරීම ඇතුළු වෙනස්කම් රැසක් සිදු කිරීමට Nike සමාගම සැලසුම් කර ඇති අතර, දැනට පවතින භූගෝලීය කලාප හතර වෙනුවට අමෙරිකා කලාපය, ආසියා පැසිෆික් සහ චීන කලාපය සහ EMEA කලාපය ලෙස කලාප තුනකට සිය මෙහෙයුම් වෙන් කිරීමට නියමිතයි.

එමෙන්ම, ඉන්දියාවේ නව කාර්යාල පරිශ්‍රයක් ස්ථාපිත කරමින් එහි දක්ෂතා සහ හැකියාවන් වෙත ප්‍රවේශය පුළුල් කිරීමටද සමාගම සැලසුම් කර තිබෙනවා.

කෙසේ වෙතත්, ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ කපා හැරීමට නියමිත රැකියා සංඛ්‍යාව මෙතෙක් නිශ්චිතව තීරණය කර නොමැති බව Nike සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

සේවකයින් දැනුවත් කිරීම 2027 වසරේදී ආරම්භ කිරීමට නියමිතයි.

මීට පෙර සිදුකළ රැකියා කප්පාදුද ඇතුළත් මෙම වැඩසටහන හරහා 2031 මූල්‍ය වර්ෂය වන විට අමෙරිකානු ඩොලර් බිලියන 2.5ක පමණ ඉතිරියක් ලබාගැනීමට අපේක්ෂා කරන බවද වාර්තා වනවා.

මේ අතර, 2027 මූල්‍ය වර්ෂයේදී Nike සමාගමේ ආදායම ඉහළ තනි ඉලක්කම් ප්‍රතිශතයකින් පහත වැටෙනු ඇතැයි සමාගම පුරෝකථනය කර තිබෙනවා.

කෙසේ වෙතත්, විශ්ලේෂකයින්ගේ සාමාන්‍ය ඇස්තමේන්තුව වන්නේ එම වසරේ සමාගමේ ආදායම සියයට 2ක පමණින් පහත වැටෙනු ඇති බවයි.

මෙම පසුබිම තුළ Nike සමාගමේ කොටස් මිලද දීර්ඝ වෙළෙඳාමේදී සියයට 8.5කින් පහත වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes