Business02 October 2026

Etihad නියමුවන් හය දෙනෙකුට ශ්‍රීලංකන් වෙතින් A330 පුහුණුව

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් මෙහෙයුම් පුහුණු අංශය විසින් Etihad Airways හි A330 ගුවන් නියමු පුහුණු පරීක්ෂකවරුන් හය දෙනෙකු සඳහා විශේෂිත Airbus A330 Line Flying Under Supervision (LFUS) පුහුණු වැඩසටහනක් සාර්ථකව පවත්වන ලදී.

මෙම වැඩසටහන මගින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ පුහුණු හා මෙහෙයුම් හැකියාවන් කෙරෙහි Etihad Airways තබා ඇති විශ්වාසය තවදුරටත් තහවුරු වූ අතර, ගුවන් සේවා සමාගම් දෙක අතර වෘත්තීය සබඳතාව ද ශක්තිමත් විය.

Etihad Airways හි Type Rating Examiners (TREs) පස් දෙනෙකු සහ Senior Type Rating Examiner (STRE)වරයෙකු මෙම වැඩසටහනට සහභාගී වූහ. ශ්‍රීලංකන් ගුවන් සේවයේ පුහුණු උපදේශකවරුන්, පළපුරුදු ගුවන් කාර්ය මණ්ඩලය සහ සහායක මෙහෙයුම් කණ්ඩායම්වල විශේෂඥ දැනුම හා අත්දැකීම් යොදා ගනිමින් සහභාගී වූ පරීක්ෂකවරුන් සඳහා ආරක්ෂිත, ඵලදායී සහ වෘත්තීයමය වශයෙන් ප්‍රයෝජනවත් පුහුණු අත්දැකීමක් ලබා දෙන ලදී.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් මෙහෙයුම් ප්‍රධානී කපිතාන් චමින්ද ද සොයිසා මහතා පැවසුවේ, මෙම අවස්ථාව එක් පුහුණු වැඩසටහනකට පමණක් සීමා නොවන බවයි.

“අප සතු Airbus A330 ගුවන් යානා සමූහය, පළපුරුදු පුහුණු උපදේශකවරුන්, මෙහෙයුම් විශේෂඥතාව සහ ස්ථාපිත පුහුණු යටිතල පහසුකම් උපයෝගී කරගනිමින්, ලොව ප්‍රමුඛ පෙළේ අනෙකුත් ගුවන් සේවා සමාගම්වල ගුවන් සේවා වෘත්තිකයන්ගේ පුහුණුව හා වෘත්තීය සංවර්ධනය සඳහා සහාය වීමට ශ්‍රීලංකන් ගුවන් සේවයට ඇති හැකියාව මෙය මගින් පෙන්නුම් කරයි,” යනුවෙන් ඔහු සඳහන් කළේය.

ජාත්‍යන්තර ගුවන් සේවා ක්‍රියාකරුවන් සඳහා විශේෂිත සහ උසස් තත්ත්වයේ පුහුණු විසඳුම් ලබා දෙමින් කලාපීය ගුවන් සේවා පුහුණු හවුල්කරුවෙකු ලෙස කටයුතු කිරීමට ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් මෙහෙයුම් පුහුණු අංශයට ඇති හැකියාව ද මෙම වැඩසටහන මගින් අවධාරණය කරයි.

වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය පුළුල් සැලසුම්කරණයක් සහ සම්බන්ධීකරණයක් සිදු කළ අතර, අවශ්‍ය නියාමන රාමුව ස්ථාපිත කිරීම සහ අනුමැතීන් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAASL), ආරක්ෂක අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ පාර්ශ්වකරුවන්ගේ සහාය හිමි විය.

මෙවැනි වැඩසටහන් හරහා ශ්‍රීලංකන් ගුවන් සේවය ගුවන් ගමන් මෙහෙයුම්වලින් ඔබ්බට සිය විශේෂඥ දැනුම, පුහුණු හැකියාවන් සහ මෙහෙයුම් පළපුරුද්ද ජාත්‍යන්තර ගුවන් සේවා ක්ෂේත්‍රය වෙත ලබාදීමේ හැකියාව තවදුරටත් ප්‍රදර්ශනය කරයි

Related recommendation
Hiru TV News | Programmes