Business15 October 2026

Getty Images සමාගම සිය බංකොලොත්භාවය ප්‍රකාශ කරයි

ලොව ප්‍රකට ඡායාරූප සහ වීඩියෝ අන්තර්ගත සපයන සමාගමක් වන ගෙටි ඉමේජස් (Getty Images) බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එසේම එම සමාගම පෞද්ගලික සමාගමක් බවට පත් කිරීමට සැලසුම් කර ඇති බව ද සඳහන්.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවකට එළඹීමෙන් අනතුරුව මෙම පියවර ගැනීමට සමාගම තීරණය කර ඇති අතර, එම ක්‍රියාවලිය මේ වසර අවසන් වන විට සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ.

ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වූ පසු ගෙටි පවුලට අනුබද්ධ ආයතන සහ කොච් ඉක්විටි ඩිවලප්මන්ට් (Koch Equity Development) සමාගමට ගෙටි ඉමේජස්හි සියයට සියයක හිමිකාරීත්වය හිමිවනු ඇති.

එම ආයෝජකයන් සමාගමට නව කොටස් ප්‍රාග්ධනය ලෙස ඩොලර් මිලියන 533ක් දක්වා මුදලක් ලබාදීමටද එකඟ වී තිබෙනවා.

ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම යටතේ අනාරක්ෂිත බැඳුම්කර හිමියන් ඩොලර් මිලියන 270ක බැඳුම්කර අවලංගු කිරීමට එකඟ වී ඇති අතර, ණය ලබාදුන් සුරක්ෂිත ණය හිමියන් පොලී පිරිවැය අඩු කිරීමට සහ ණය ආපසු ගෙවීමේ කාලසීමා දීර්ඝ කිරීමට එකඟ වී ඇති බවයි සමාගම සඳහන් කරන්නේ.

කෙසේ වෙතත්, මෙම ක්‍රියාවලිය අතරතුර සමාගමේ මෙහෙයුම් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවත්, සැපයුම්කරුවන්ට නියමිත පරිදි සම්පූර්ණ ගෙවීම් සිදුකරන බවත්, ගෙටි ඉමේජස් ප්‍රකාශ කර තිබෙනවා.

රොයිටර්ස් සහ ඇසෝසියේටඩ් ප්‍රෙස් වැනි ප්‍රවෘත්ති ආයතන සමග තරග කරන ගෙටි ඉමේජස්, ඡායාරූප සහ වීඩියෝ අන්තර්ගත සැපයීමේ ප්‍රමුඛ සමාගමක් ලෙස සැලකෙනවා.

ණය බර ඉහළ යාම සහ කෘත්‍රිම බුද්ධිය (AI) මගින් නිර්මාණය කරන රූප හේතුවෙන් තරගකාරීත්වය වැඩිවීම සමාගම මුහුණ දෙන ප්‍රධාන අභියෝග අතර වනවා.

එමෙන්ම, ප්‍රතිවාදී ෂටර්ස්ටොක් (Shutterstock) සමාගම සමග ඒකාබද්ධ වීමට තිබූ සැලසුම අසාර්ථක වීමෙන් පසුව මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ පියවර ගෙන තිබෙනවා.

පසුගිය ජුනි 30 වැනිදා වන විට ගෙටි ඉමේජස් සමාගමේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 2.1ක් පමණ වූ බව සඳහන්.

මූලාශ්‍රය : රොයිටර්ස්
Related recommendation
Hiru TV News | Programmes