Business15 October 2026

ශ්‍රී ලංකාව ගෝලීය සුවතා සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනයට නව පියවරක්

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සුවතා සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, Wellness in Wetlands 2026 දෙවැනි ජාත්‍යන්තර සමුළුවට සමගාමීව විශේෂ පිළිගැනීමේ හා ඇගයීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් ඔක්තෝබර් 11 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වීය.

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය තුළ ඉහළ වටිනාකමක් සහිත අංශයක් ලෙස සුවතා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම මෙම වැඩසටහන මගින් අවධාරණය කෙරිණි. ජාත්‍යන්තර සංචාරකයන්ගේ විවිධ අවශ්‍යතා සපුරාලන සංචාරක අත්දැකීම් හඳුන්වා දීමෙන් මෙරට සංචාරක ක්ෂේත්‍රයේ විවිධත්වය තවදුරටත් පුළුල් කිරීමට ද අවස්ථාව සැලසේ.

ස්වභාවික සුන්දරත්වය, ජෛව විවිධත්වය, සුවිශේෂී සංස්කෘතික උරුමය, පාරම්පරික සුවතා ක්‍රමවේද සහ උසස් ආගන්තුක සත්කාරය ඇතුළු සුවිශේෂී ලක්ෂණ රැසකින් ශ්‍රී ලංකාව සමන්විත වේ. මෙම සම්පත් උපයෝගී කරගනිමින් විවේකය, මානසික හා කායික සුවතාව, ස්වභාවධර්මය සමඟ සමීප සබඳතාව සහ සංස්කෘතික අත්දැකීම් අපේක්ෂා කරන සංචාරකයන් සඳහා ආකර්ෂණීය අත්දැකීම් නිර්මාණය කිරීමට මෙරටට විශාල විභවයක් පවතී.

ශ්‍රී ලංකාව හුදෙක් සංචාරක ආකර්ෂණීය ස්ථාන නැරඹීමට සීමා නොවූ, සොබාදහම, සංස්කෘතිය සහ මානසික හා කායික සුවතාව එකට මුසු වූ ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තරයට හඳුන්වා දීම මෙම ප්‍රවර්ධන වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණකි. ස්වභාවික පරිසරය ආශ්‍රිත සුවතා අත්දැකීම්, පාරම්පරික සුවතා ක්‍රමවේද සහ සංස්කෘතික සංචාරක අත්දැකීම් ඔස්සේ මෙරට සංචාරක නිෂ්පාදන විවිධාංගීකරණය කිරීමට ද මෙය මඟ පාදයි.

තෙත්බිම්, දැනුම සහ මානව යහපැවැත්ම අතර සම්බන්ධතාව පිළිබඳ අවධානය යොමු කරන Wellness in Wetlands 2026 දෙවැනි ජාත්‍යන්තර සමුළුව ඔක්තෝබර් 9 සිට 12 දක්වා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේදී පැවැත්වේ. ඒ සඳහා දේශීය හා විදේශීය නියෝජිතයන් 100කට ආසන්න පිරිසක් සහභාගී වෙති.

මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද සහභාගී වූහ. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සුවතා සංචාරක ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීමේදී අදාළ රාජ්‍ය ආයතන අතර සහයෝගීතාවයේ වැදගත්කම මෙම සහභාගීත්වයෙන් පිළිබිඹු වේ.

ජාත්‍යන්තර නියෝජිතයන් පිළිගැනීම, මෙම ක්ෂේත්‍රයට දායක වන විශේෂඥයන්ගේ සහ හවුල්කාර ආයතනවල දායකත්වය ඇගයීම සහ ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කිරීම ද රාත්‍රී භෝජන සංග්‍රහයේ ප්‍රධාන අරමුණු අතර විය. සුවතාව, පරිසර සංරක්ෂණය සහ තිරසර සංචාරක කර්මාන්තය පිළිබඳ උනන්දුවක් දක්වන ජාත්‍යන්තර පාර්ශ්වයන් සමඟ සබඳතා ගොඩනැඟීම තුළින් ශ්‍රී ලංකාවේ සංචාරක විභවය ලොවට හඳුන්වා දීමටත්, මෙම ක්ෂේත්‍රයේ අනාගත සහයෝගීතා සඳහා අවස්ථා පුළුල් කිරීමටත් හැකි වනු ඇත.

Related recommendation
Hiru TV News | Programmes