Business17 October 2026

ඉදිරි වසර 20 තුළ ඉන්දියා - අරාබි වෙළෙඳාම ඩොලර් බිලියන 500 දක්වා තෙගුණයකින් ඉහළට

ගල්ෆ් කලාපීය ආයෝජකයින් ඉන්දීය වෙළෙඳපොළ තුළ තම නියෝජනය වැඩි කිරීමත් සමඟ, ඉදිරි වසර 10ත් 20ත් අතර කාලය තුළ ඉන්දියාව සහ අරාබි රටවල් අතර වෙළෙඳාම ඇමෙරිකානු ඩොලර් බිලියන 500 දක්වා තෙගුණයකටත් වඩා වැඩි විය හැකි බව ඉන්දීය සහ අරාබි රටවල වාණිජ, කර්මාන්ත සහ කෘෂිකර්ම මණ්ඩලයේ ලේකම් ජෙනරාල් වායෙල් අව්වාඩ් පවසනවා.

2026 දෙසැම්බර් 18 සහ 19 යන දිනවල නවදිල්ලි නුවරදී පැවැත්වීමට නියමිත "ඉන්දියා-අරාබි ව්‍යාපාරික සමුළුව"ට පෙර අදහස් දක්වමින් අව්වාඩ් කියා සිටියේ, දෙපාර්ශ්වය අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම මේ වන විටත් ඇමෙරිකානු ඩොලර් බිලියන 150 සීමාව පසුවී ඇති බවයි.

ආයෝජන හවුල්කාරිත්ව සක්‍රීය කිරීම සහ වාණිජ සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් පැවැත්වෙන මෙම සමුළුව සඳහා අරාබි රටවල් 22ම නියෝජනය කරමින් නියෝජිතයින්ට ආරාධනා කර ඇති බව TV BRICS හි මාධ්‍ය හවුල්කරුවෙකු වන IANS පුවත් සේවය වාර්තා කළා.

අව්වාඩ් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ඉන්දියාවේ විවිධ ක්ෂේත්‍රයන් හි පුළුල් වන ආයෝජන අවස්ථා හරහා අරාබි රටවලින් වැඩි ප්‍රාග්ධනයක් ආකර්ෂණය කර ගැනීමට හැකි වනු ඇති බවයි.

රජය විසින් ලබාදෙන දිරිගැන්වීම් සහ ව්‍යාපාර අතර සෘජු සබඳතා ගොඩනගා ගැනීමට ලැබෙන මෙම වේදිකාව, ඉන්දීය වෙළෙඳපොළට පිවිසීමට ගල්ෆ් ආයෝජකයින් තවදුරටත් දිරිමත් කරනු ඇති බව ද ඔහු සඳහන් කරනවා.

මූලාශ්‍රය - The Economic Times
Related recommendation
Hiru TV News | Programmes