Business03 November 2026

බ්‍රෙක්සිට් වෙළෙඳ බාධක ඉවත් කිරීමට බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය අතර නව එකඟතාවක්

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් පසු ආහාර සහ කෘෂිකාර්මික නිෂ්පාදන වෙළෙඳාමට පනවා තිබූ සීමා සහ අතිරේක පරීක්ෂණ ඉවත් කිරීම සඳහා දෙපාර්ශ්වය අතර මූලික ගිවිසුමකට එකඟතාව පළ වී තිබෙනවා.

ඒ අනුව, බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය අතර ආහාර හා කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය කිරීමේදී පනවා තිබූ අතිරේක ලේඛන කටයුතු, සහතික ලබාගැනීම් සහ දේශසීමා පරීක්ෂණ රැසක් ඉවත් කිරීමට නියමිත බවයි බීබීසී පුවත් සේවය වාර්තා කරන්නේ.

මෙම ගිවිසුම බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් බ්‍රෙක්සිට් (Brexit) ක්‍රියාවලියෙන් පසු දෙපාර්ශ්වයේ වෙළෙඳ සබඳතා යළි ශක්තිමත් කිරීම සඳහා ගත් වැදගත් පියවරක් ලෙස සැලකෙනවා.

සනීපාරක්ෂක සහ ශාක සනීපාරක්ෂක ප්‍රමිතීන් හෙවත් SPS ගිවිසුම ලෙස හැඳින්වෙන මෙම යෝජිත එකඟතාවට අදාළ පිටු 200ක ලේඛනයක් යුරෝපා සංගමයේ සාමාජික රටවල් වෙත යොමුකර ඇති බව සඳහන්.

එම ලේඛනය හෙට (04) බ්‍රසල්ස් නුවර පැවැත්වෙන යුරෝපා සංගම් තානාපතිවරුන්ගේ රැස්වීමකදී සාකච්ඡාවට ගැනීමට නියමිතව තිබෙනවා.

මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමෙන් බ්‍රිතාන්‍ය ආර්ථිකයට වාර්ෂිකව ස්ටර්ලින් පවුම් බිලියන 5.1ක පමණ ආර්ථික ප්‍රතිලාභයක් දිගුකාලීනව හිමිවනු ඇති බවට එරට රජය ඇස්තමේන්තු කර ඇති බව සඳහන්.

ඒ අනුව, දැනට යුරෝපා සංගමය වෙත අපනයනය කිරීමේදී සීමාවන්ට ලක්ව ඇති නැවුම් සොසේජස්, බර්ගර්, මුහුදු ආහාර සහ බීජ අර්තාපල් ඇතුළු නිෂ්පාදන යළි අපනයනය කිරීමට අවස්ථාව හිමිවනු ඇති බව වාර්තා වෙනවා.

එමෙන්ම ආහාර නිෂ්පාදන අපනයනය කිරීමේදී අවශ්‍ය වන ස්ටර්ලින් පවුම් 200ක් පමණ වැයවන සෞඛ්‍ය සහතික සහ ශාක නිෂ්පාදන සඳහා අවශ්‍ය පවුම් 25ක සහතික ලබාගැනීමේ අවශ්‍යතාව ද ඉවත් කිරීමට යෝජනා වී තිබෙනවා.

මීට අමතරව, ඇතැම් වරාය ගාස්තු, නිෂ්පාදන පරීක්ෂණ ගාස්තු සහ කාබනික නිෂ්පාදන සඳහා වන සහතික ලබාගැනීමේ අතිරේක ක්‍රියාවලීන් ද ඉවත් කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පියවර මගින් අපනයනකරුවන්ට සිදුවන අමතර වියදම් සහ භාණ්ඩ ප්‍රවාහනයේ ප්‍රමාදයන් සැලකිය යුතු ලෙස අවම කරගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරනවා.

එමෙන්ම බ්‍රිතාන්‍යයේ සිට යුරෝපා සංගමයේ රටවල් වෙත රැගෙන යන සුරතල් සතුන් සඳහා යළිත් සුරතල් සත්ත්ව ගමන් බලපත්‍ර ක්‍රමවේදයක් හඳුන්වා දීමට ද නියමිතයි.

කෙසේ වෙතත්, මෙම සහන ලබාගැනීම වෙනුවෙන් බ්‍රිතාන්‍යයට යුරෝපා සංගමයේ ආහාර, සත්ත්ව සහ ශාක නිෂ්පාදනවලට අදාළ ප්‍රමිතීන් අනුගමනය කිරීමට සිදුවනු ඇති බව සඳහන්.

ඒ අනුව, යුරෝපා සංගමය විසින් ඉදිරියේදී එම ප්‍රමිතීන් වෙනස් කරන අවස්ථාවලදී බ්‍රිතාන්‍යයට ද ඒවාට අනුකූලව තම නීති සංශෝධනය කිරීමට සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තත්ත්වය බ්‍රිතාන්‍යයේ ස්වාධීන නීති සම්පාදන බලයට බලපෑම් කළ හැකි බවට ඇතැම් බ්‍රෙක්සිට් හිතවාදී කණ්ඩායම් විවේචන එල්ල කර තිබෙනවා.

එහෙත් බ්‍රිතාන්‍යයේ ව්‍යාපාරික ප්‍රජාව සහ ගොවි සංවිධාන රැසක් මෙම ගිවිසුමට සහාය පළකර ඇති බව සඳහන්.

බ්‍රිතාන්‍ය වාණිජ මණ්ඩලය පෙන්වා දෙන්නේ බ්‍රෙක්සිට් ක්‍රියාවලියෙන් පසු ඇති වූ අතිරේක වෙළෙඳ නීති සහ දේශසීමා පරීක්ෂණ හේතුවෙන් එරට අපනයනකරුවන්ට විශාල මූල්‍යමය හානියක් සිදුව ඇති බවයි.

විශේෂයෙන් ආහාර අපනයනය කරන එක් ට්‍රක් රථයකට අදාළ සහතික ලබාගැනීම සඳහා පමණක් ස්ටර්ලින් පවුම් දහස් ගණනක අතිරේක වියදමක් දැරීමට සිදුවන බවද එම සංවිධානය සඳහන් කර තිබෙනවා.

මූලාශ්‍රය : BBC
Related recommendation
Hiru TV News | Programmes