Business04 November 2026

ඉන්දියාව සමඟ වෙළඳාම නතර කිරීමෙන් පාකිස්තානයට ඩොලර් බිලියන 40ක දැවැන්ත පාඩුවක්

පුල්වාමා ත්‍රස්ත ප්‍රහාරය සහ ඉන් අනතුරුව ඇති වූ ආතතීන් හේතුවෙන් 2019 වසරේදී ඉන්දියාව සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවීමෙන් පසු, පාකිස්තානයට ඇමරිකානු ඩොලර් බිලියන 40ක පමණ ආර්ථික අලාභයක් සිදුව ඇතැයි ව්‍යාපාරික උපදේශක කණ්ඩායමක ප්‍රධානියෙකු උපුටා දක්වමින් PTI පුවත් සේවය වාර්තා කරනවා.

දෙරට අතර වාණිජ සබඳතා නැවත ආරම්භ කරන ලෙස ඉල්ලා සිටින පාකිස්ථාන-ඉන්දීය ව්‍යාපාරික මණ්ඩලයේ සභාපති නූර් මුහම්මද් කසූරි, එම පියවර දෙපාර්ශ්වයේම ව්‍යාපාරවලට වාසිදායක වන අතර ආයෝජන, සංචාරක සහ කලාපීය සහයෝගීතාව සඳහා නව අවස්ථා උදාකර දෙනු ඇති බවයි පවසා සිටියේ.

නිවේදනයක් නිකුත් කරමින් කසූරි සඳහන් කළේ, වෙළඳ සබඳතා අත්හිටුවීම හේතුවෙන් පාකිස්තාන ව්‍යාපාරිකයන්ට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය සහ අනෙකුත් භාණ්ඩ ඈත පිහිටි වෙළඳපොළවලින් ආනයනය කිරීමට සිදු වී ඇති අතර, එමඟින් ප්‍රවාහන හා ගාස්තු පිරිවැය මෙන්ම භාණ්ඩ ලැබීමට ගතවන කාලයද ඉහළ ගොස් ඇති බවයි.

පාකිස්තානයේ ඖෂධ කර්මාන්තය ඉන්දියාවෙන් ලබාගන්නා අමුද්‍රව්‍ය මත බෙහෙවින් යැපුණු බවත්, ඉන්දියාවෙන් භාණ්ඩ ආනයනය කිරීම මඟින් එම කර්මාන්තයට වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 2 ත් 3 ත් අතර ප්‍රමාණයක් ඉතිරි කරගත හැකිව තිබූ බවත් පී.ටී.අයි. වාර්තාවේ දැක්වෙනවා.

එසේම, දේශීය පදම් නොකළ පුළුන් (කපු) නිෂ්පාදනය පහත වැටීම හමුවේ රෙදිපිළි ක්ෂේත්‍රයටද අමතර පිරිවැයකට මුහුණ දීමට සිදු වූ බවයි කසූරි පවසා සිටියේ.

රෙදිපිළි නිෂ්පාදනාගාරවලට බ්‍රසීලය, ඊජිප්තුව, චීනය සහ එක්සත් ජනපදය යන රටවලින් කපු මිලදී ගැනීමට සිදු වූ අතර, ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක පමණ අමතර වියදමක් දැරීමට සිදු වී තිබෙනවා.

මීට අමතරව, ඉන්දියාව සතුව මෙම ක්ෂේත්‍රයන්හි ඉහළ නිෂ්පාදන ධාරිතාවක් පැවතුණද, සීනි, පොහොර, සිමෙන්ති, පෙට්‍රෝලියම් නිෂ්පාදන, යකඩ හා වානේ, එළවළු සහ බර යන්ත්‍රසූත්‍ර වැනි දෑ පවා ඈත පිහිටි වෙළඳපොළවලින් ආනයනය කිරීමට පාකිස්තානයට සිදු වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes