Business04 November 2026

ගෝලීය වෙළෙඳපොළට පිවිසීමට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට EDB, IFC සහ EU සහාය

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ යුරෝපා සංගමය (EU) එක්ව ක්‍රියාත්මක කරනු ලබන ExpoScaleUp වැඩසටහනේ තෙවන කණ්ඩායමේ අවසන් ව්‍යාපාරික ඉදිරිපත් කිරීමේ සහ ඇගයීමේ උත්සවය සාර්ථකව පැවැත්විණි.

ශ්‍රී ලාංකික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ තරගකාරීත්වය ඉහළ නංවමින් ජාත්‍යන්තර වෙළෙඳපොළට ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය හැකියාවන් සහ අවස්ථා වර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.

යුරෝපා සංගමයේ Global Gateway උපායමාර්ගය යටතේ ක්‍රියාත්මක වනAccelerating Climate Smart and Inclusive Infrastructure in South Asia (ACSIIS) කලාපීය වැඩසටහනේ සහාය ඇතිව ක්‍රියාත්මක වන ExpoScaleUp වැඩසටහන, ශ්‍රී ලංකා අපනයන විශිෂ්ටතා වැඩසටහනේ (Sri Lanka Export Excellence Initiative – SLEEI) ප්‍රධාන අංගයකි.

ExpoScaleUp වැඩසටහනේ තෙවන කණ්ඩායම යටතේ ශ්‍රී ලාංකික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 25 දෙනෙකු සිය ව්‍යාපාර ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත ව්‍යාප්ත කිරීම සඳහා විධිමත් අපනයන වෙළෙඳපොළ සැලසුම් (Export Market Plans) සකස් කරනු ලැබීය.

උත්සවයේ සමාරම්භක දේශනය පැවැත්වූ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා, 2030 වසර වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා මෙරට අපනයනකරුවන්ගේ පදනම පුළුල් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

එහිදී අදහස් දැක්වූ IFC දකුණු ආසියානු කලාපීය උපදේශන හා ආර්ථික කටයුතු කළමනාකරු ග්‍රෙගරි ස්මිත් මහතා, ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන ශක්තියක් වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ගෝලීය වෙළෙඳපොළ තුළ තරග කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදීම රටේ ආර්ථික වර්ධනය, රැකියා උත්පාදනය සහ ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමට අත්‍යවශ්‍ය බව පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපා සංගම් නියෝජිත කාර්යාලයේ හවුල්කාරිත්ව ප්‍රධානී වර්ජිනි ලෆ්ලර්-ටයිග් මහත්මිය අදහස් දක්වමින්, ACSIIS කලාපීය වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව සමඟ පවතින පුළුල් සහයෝගීතාවයේ කොටසක් ලෙස ExpoScaleUp වැඩසටහනට සහාය ලබාදීමට යුරෝපා සංගමය සතුටු වන බව ප්‍රකාශ කළාය.

පෞද්ගලික අංශයේ සංවර්ධනය සහ දේශගුණික ක්‍රියාකාරකම් එකිනෙක හා සම්බන්ධ කරමින් IFC සහ අපනයන සංවර්ධන මණ්ඩලය වැනි හවුල්කාර ආයතන සමඟ එක්ව කටයුතු කිරීම තුළින් ශ්‍රී ලංකාව තුළ වඩාත් ඔරොත්තු දෙන, සියලු පාර්ශ්වයන් ඇතුළත් කරගත් සහ අනාගතයට සූදානම් අපනයන පරිසර පද්ධතියක් ගොඩනැගීමට දායක වන බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

මෙම වැඩසටහන සඳහා කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන, සැකසූ ආහාර හා පාන වර්ග, පොල් ආශ්‍රිත නිෂ්පාදන, ත්‍යාග භාණ්ඩ හා අත්කම් නිෂ්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සහ ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණය (ICT/BPO), ඖෂධීය ශාක ආශ්‍රිත රූපලාවණ්‍ය නිෂ්පාදන ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් ව්‍යවසායකයෝ සහභාගී වූහ.

සකස් කරන ලද අපනයන වෙළෙඳපොළ සැලසුම්වල ගුණාත්මකභාවය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළට ප්‍රවේශ වීම සඳහා ඉදිරිපත් කළ උපායමාර්ග ඇගයීමට ලක් කිරීමෙන් අනතුරුව, හොඳම අපනයන වෙළෙඳපොළ සැලසුම් ඉදිරිපත් කළ ව්‍යවසායකයන් දස දෙනෙකු ඇගයීමට ලක් කරන ලදී.

ඒ අනුව තෝරාගත් ව්‍යවසායකයන්ට වැඩසටහනේ මීළඟ අදියර වන ExpoConnect සඳහා සහභාගී වීමට අවස්ථාව හිමි වේ. ජාත්‍යන්තර වෙළෙඳපොළට ප්‍රවේශය පුළුල් කිරීම, වෙළෙඳ කටයුතු සඳහා පහසුකම් සැලසීම සහ විදේශීය ගැනුම්කරුවන් සමඟ ඉලක්කගත ව්‍යාපාරික සබඳතා ගොඩනැගීම ExpoConnect අදියරේ ප්‍රධාන අරමුණු වේ.

 

Related recommendation
Hiru TV News | Programmes