Entertainment12 August 2025

ටේලර් ස්විෆ්ට් 12වන ස්ටුඩියෝ ඇල්බමය නිකුත් කිරීමට නියමිත බව නිවේදනය කරයි

ලොව ප්‍රමුඛ පෙළේ ගා‍යිකා ටේලර් ස්විෆ්ට් විසින් තම 12වන ස්ටුඩියෝ ඇල්බමය වන ‘The Life of a Showgirl’ නිකුත් කිරීමට නියමිත බව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

පැය 24ක කාලයක් පුරා රසිකයින් විසින් සිදුකළ අනුමානවලින් පසු, ටේලර් ස්විෆ්ට්ගේ අලෙවිකරණ කණ්ඩායම "See you in the next era..." යන සටහන සහිත ඡායාරූප 12ක් ද ප්‍රකාශ කර තිබෙනවා.

පසුගිය වසරේ ඇය නිකුත් කළ 11 වන ඇල්බමය "The Tortured Poets Department" Spotify හි වැඩිම නැරඹුම්වාර ප්‍රමාණයක් ලබාගත් ඇල්බමය ලෙස නව වාර්තාවක් තැබීමට සමත් වුණා.

එම ඇල්බමය නැරඹුම්වාර බිලියන 5 සහ 6 යන දෙකම ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍යන් හී සඳහන් වන්නේ.

නව ඇල්බමය පෙර ඇණවුම් කළ රසිකයින්ට ඔක්තෝබර් 13ට පෙර නැව්ගත කරන බව දැනුම් දී තිබෙන නමුත්, නිල නිකුත් කිරීමේ දිනය තවම ප්‍රකාශ කර නොමැති බවත් සඳහන් වෙනවා.

ස්විෆ්ට් 2024 දෙසැම්බර් මාසයේදී Eras Tour සංචාරය අවසන් කළ අතර, සංචාරය අවසානයේ ඇයට බිලියන 1ක ආර්ථික වර්ධනයක් සිදුවී තිබෙනවා.

ඉන්පසු ඇය බිලියනපති තත්ත්වයට ළඟා වී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

මෙම වසරේ මැයි මාසයේදී, ඇය තම මුල් ඇල්බම හය සඳහා හිමිකම් නැවත මිලදී ගෙන,මේ වනවිට එම ඇල්බම්වලින් හතරක් නැවත පටිගත කර නිකුත් කර තිබෙනවා.

ඉතිරි දෙක නිකුත් කිරීමට හොඳම කාලය එනතුරු බලා සිටින බවයි සඳහන් වන්නේ.

ස්විෆ්ට් මේ වනවිට ග්‍රැමී සම්මාන 14ක් සහ ඇමරිකානු සංගීත සම්මාන මගින් දශකයේ කලාකරුවා යන ගෞරවය ද හිමිකර ගෙන තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes