Entertainment30 September 2025

අරියානා ට්‍රම්ප් එක්ක ඇවිලෙයි

ජනප්‍රිය ගායිකා අරියානා ග්‍රාන්ඩේ සහ ධවල මන්දිරය අතර මේ දිනවල දේශපාලන මතභේදයක් නිර්මාණය වී තිබෙනවා.

මේ ගැටුම ආරම්භ වූයේ පසුගිය ඉරිදා අරියානා ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ට්‍රම්ප්ගේ පාලනය විවේචනය කරන පණිවිඩයක් නැවත පළ කිරීමත් සමඟයි.

එම සටහනින් ඇය විමසා තිබුණේ "ට්‍රම්ප් බලයට පත් වීමෙන් පසු ට්‍රම්ප්ගේ ආධාරකරුවන්ගේ ජීවිත ඇත්තටම හොඳ වෙලා තියෙනවද" කියායි.

එසේම සංක්‍රමණිකයන්ට, සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවට සහ භාෂණයේ නිදහසට එල්ල වෙන ප්‍රහාර පිළිබඳවත් ඇය ප්‍රශ්න කර තිබුණා.

අරියානා සෑම විටම තම දේශපාලන විශ්වාසයන් ගැන විවෘතව කතා කරන චරිතයක් ලෙස ප්‍රකටයි. ඇය මීට පෙර 2024 ජනාධිපතිවරණයේදී කමලා හැරිස්ට සහය පළ කර තිබුණා.

අරියානා ග්‍රාන්ඩේට ප්‍රතිචාර වශයෙන්, ධවල මන්දිර ප්‍රකාශක කුෂ් දේසායි මාධ්‍යයට අදහස් දක්වමින් අරියානාට තරමක් ප්‍රබල පිළිතුරක් ලබා දී තිබෙනවා.

එම ප්‍රකාශයෙන් කියැවුණේ ට්‍රම්ප්ගේ ක්‍රියාමාර්ග මඟින් ජෝ බයිඩන්ගේ උද්ධමන අර්බුදය අවසන් කර ට්‍රිලියන ගණනක අලුත් ආයෝජන ගේන බවත්, ඇයට කඳුළු ඉතිරි කර ගන්න ලෙසයි.

මෙලෙස විවේචන එල්ල වුණද, අරියානාගේ ප්‍රසංගවලට රසිකයන්ගෙන් වැඩිපුර මුදල් අය කිරීම සම්බන්ධයෙන් ටිකට්පත් සමාගමට එරෙහිව පියවර ගැනීමට පවා ට්‍රම්ප් නීති සකස් කළ බව ධවල මන්දිර ප්‍රකාශකයා සඳහන් කර තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes