Entertainment15 October 2026

මිල්ටන් මල්ලවාරච්චිගේ ජීවිත කතාව රැගත් "එදා රෑ" චිත්‍රපටය වාර්තා රැසක් අලුත් කරයි

ශ්‍රී ලංකීය සංගීත ක්ෂේත්‍රයේ අමරණීය ගායකයකු වන මිල්ටන් මල්ලවාරච්චිගේ වර්ණවත් ජීවිත කතාව පාදක කරගනිමින් නිර්මාණය වූ "එදා රෑ" (Eda Raa) චිත්‍රපටය, මෙරට මෙන්ම විදෙස් රටවලද ප්‍රදර්ශනය කරමින් වාර්තාගත ජයග්‍රහණ රැසකට හිමිකම් කීමට සමත්ව තිබේ.

'Stream Desi Music' ආයතනය විසින් "එක හඬක්, මිලියන සංඛ්‍යාත හදවත්" (One Voice, Million Hearts) යන තේමාව යටතේ නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටය, පසුගිය සැප්තැම්බර් 18 වැනි දින මෙරට ඉතිහාසයේ වැඩිම සිනමාහල් සංඛ්‍යාවක සහ ශ්‍රී ලංකීය චිත්‍රපටයක් ප්‍රදර්ශනය වූ වැඩිම විදෙස් රටවල් සංඛ්‍යාවක තිරගත වීම ආරම්භ කළ බව එහි නිෂ්පාදකයෝ පවසති.

චිත්‍රපට නිෂ්පාදක මණ්ඩලය පෙන්වා දෙන පරිදි, මෙහි වාර්තා අතරට වැඩිම සතිපතා ආදායම, පළමු දින 10 තුළ වාර්තාගත ආදායම, වැඩිම පූර්ණ ප්‍රේක්ෂක පිරිසක් (Houseful)භාවිත වූ දර්ශන වාර සංඛ්‍යාව, මෙරට සහ විදේශයන්හි තිරගත වීමටපෙර වාර්තාගත අත්තිකාරම් වෙන්කරවා ගැනීම් (Pre-bookings) සංඛ්‍යාව මෙන්ම, එම පූර්ව වෙන්කරවා ගැනීම් හරහා ජනනය වූ වැඩිම පූර්ණ ප්‍රේක්ෂක දර්ශන වාර සංඛ්‍යාවද ඇතුළත් වේ.

මෙම චිත්‍රපටයේ මංගල සාකච්ඡාව 2025 සැප්තැම්බර් මාසයේදී ඉම්පීරියල් මොනාක් (Imperial Monarch) පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, අනතුරුව එහි මුහුරත් උත්සවය මේ වසරේ ජනවාරි මාසයේදී නවලෝක ශාලාවේදී (Nawaloka Banquet Hall) උත්කර්ෂවත් අයුරින් සිදු කෙරිණි.

දහස් සංඛ්‍යාත පිරිසකගේ දායකත්වයෙන් නිෂ්පාදනය කෙරුණු මෙම චිත්‍රපටය, වසරක් වැනි කෙටි කාලයක් තුළ මෙරට සහ ජාත්‍යන්තර මට්ටමින් සාර්ථකව නිමවා ප්‍රදර්ශනය කිරීමට හැකිවීම විශේෂත්වයකි.

'වන් ලයින් ප්‍රඩක්ෂන් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් (පෞද්ගලික) සමාගමේ' (One Line Production & Entertainment) සභාපති, ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු සඳහන් කළේ චිත්‍රපටයේ ඉදිරි ප්‍රදර්ශන වාර තුළදී තවත් වාර්තා බිහිවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

වසර 12ක සිය වෘත්තීය දිවිය තුළ චිත්‍රපට 17ක් නිෂ්පාදනය කර ඇති ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු, "එදා රෑ" චිත්‍රපටයේ සම-නිෂ්පාදකවරයෙකු ලෙසද කටයුතු කරයි.

ඔහු මේ වන විට ඉන්දියාවේ පිහිටුවන ලද සිය නවතම ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදන සමාගම වන 'ෆ්‍රෙයර් මුවීස් ඉන්දියා පෞද්ගලික සමාගම' (Freyherr Movies India Pvt Ltd) හරහා තම ප්‍රථම කොලිවුඩ් සහ බොලිවුඩ් චිත්‍රපටය වන "ඔරසාතා" (Orasatha) නිෂ්පාදනය කිරීමට සූදානම් වේ.

ප්‍රභූ දේවා, සනී ලියොන් සහ යෝගී බාබු යන ප්‍රමුඛ පෙළේ නළු නිළියන් ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම චිත්‍රපටයේ මූලික කටයුතු ආරම්භ කිරීම සඳහා ආචාර්ය ප්‍රනාන්දු ලබන සතියේ චෙන්නායි නුවර වෙත යාමට නියමිතය.

Related recommendation
Hiru TV News | Programmes