Entertainment27 October 2026

දශකයකට වැඩි කාලයක් බලා සිටි බ්ලීච් අවසානයට රසිකයන්ගෙන් ඉහළ ප්‍රතිචාර

ජපාන ඇනිමේෂන් කතා මාලාවක් වන බ්ලීච් (Bleach) හි අවසන් කථාංගය නිකුත් වීමත් සමග රසිකයන්ගෙන් ඉහළ ප්‍රතිචාර හිමිව තිබෙනවා.

දශකයකට වැඩි කාලයක් බලා සිටි මෙම අවසානය, කතා මාලාවට ගැළපෙන පරිපූර්ණ නිමාවක් බවටයි බොහෝ රසිකයන් අදහස් පළ කර ඇත්තේ.

ජපාන චිත්‍රකතා හෙවත් මංගා (Manga) ඇසුරින් නිර්මාණය වූ බ්ලීච්, ජපානයේ ජනප්‍රියම මංගා කතා මාලා තුනෙන් එකක් ලෙස සැලකෙනවා.

වන් පීස් (One Piece) සහ නරුටෝ (Naruto) අනෙක් කතා මාලා දෙකයි.

මෙම කතා මාලා තුනේම ඇනිමේෂන් අනුවර්තන, ලොව පුරා ඇනිමේෂන් ජනප්‍රියත්වය ඉහළ නැංවීමට දායක වී තිබෙනවා.

බ්ලීච් කතාව ගොඩනැඟෙන්නේ ඉචිගෝ කුරොසාකි (Ichigo Kurosaki) නම් තැඹිලි පැහැති හිසකෙස් සහිත යෞවනයෙකු වටායි.

අවතාර දැකීමේ අසාමාන්‍ය හැකියාවක් ඔහුට තිබෙන අතර, පාසල් ජීවිතය සහ පවුලේ වගකීම් අතරතුර මිනිස් වර්ගයා නපුරු ආත්මවලින් ආරක්ෂා කිරීමේ සටනක ද ඔහු නිරත වනවා.

මෙහි අවසන් කතා පරිච්ඡේදය වන Thousand-Year Blood War සඳහා රසිකයන් අතර විශාල උනන්දුවක් පැවතී තිබෙනවා.

මුල් මංගා කතාවේ අවසානය ඉක්මන් කර අවසන් කළ බවටත්, එය රසිකයන් බලාපොරොත්තු වූ ආකාරයේ නිමාවක් නොවූ බවටත් විවේචන එල්ල වී තිබුණා.

එම අවසානය නිර්මාණය වූ සමයේ කතා නිර්මාණකරු ටයිට් කුබෝ (Tite Kubo) සෞඛ්‍ය ගැටලු අත්විඳීම ද ඊට හේතුවක් ලෙස සඳහන් වී තිබෙනවා.

කෙසේ වෙතත්, නව ඇනිමේෂන් අනුවර්තනයේදී කුබෝ සහ පියරොට් ෆිල්ම්ස් (Pierrot Films) නිෂ්පාදන ආයතනය මුල් කතාවේ වෙනස්කම් කිහිපයක් සිදුකර ඇති බව සඳහන්.

ඒ හේතුවෙන් මුල් කතාවේ අවසානය පිළිබඳ පැවති අතෘප්තියට නව නිමාවෙන් පිළිතුරක් ලැබෙනු ඇතැයි රසිකයන් බලාපොරොත්තු වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

බ්ලීච් ඇනිමේෂන් කතා මාලාවේ මුල් විකාශනය 2004 වසරේ සිට 2012 වසර දක්වා වාර 16ක් පුරා පැවතුණා.

වසර දහයක විරාමයකින් පසුව, එහි අවසන් කතා පරිච්ඡේදයේ පළමු කොටස 2022 වසරේදී විකාශය ආරම්භ කළා.

Thousand-Year Blood War කතා පරිච්ඡේදය කොටස් හතරකට බෙදා නිර්මාණය කර ඇති අතර, එහි අවසන් කොටසේ විකාශනය මේ වසරේ ජූලි මාසයේදී ආරම්භ වී තිබෙනවා.

එසේම වසර ගණනාවක් පුරා රසිකයන් සමග බැඳී පැවති බ්ලීච් කතා මාලාවේ අවසානය, සංවේදී සමුගැනීමක් මෙන්ම එහි නිර්මාණකරුගේ මුල් දැක්මට සමීප වූ නිමාවක් ලෙස ද රසිකයන් අතර කතාබහට ලක්ව තිබෙනවා.

මූලාශ්‍රය : BBC
Related recommendation
Hiru TV News | Programmes