Entertainment28 October 2026

කුප්‍රකට අනුක්‍රමික ඝාතක ටෙඩ් බන්ඩිගේ වසර 50ක් පැරණි තවත් ඝාතන අබිරහසක් විසඳෙයි

1970 දශකයේ අමෙරිකාවම භීතියට පත්කළ කුප්‍රකට අනුක්‍රමික ඝාතක (Serial Killer) ටෙඩ් බන්ඩි (Ted Bundy) විසින් සිදුකරන ලදැයි සැකකෙරුණු තවත් වසර 50ක් පැරණි අබිරහස් ඝාතනයක් DNA තාක්ෂණයේ දියුණුවත් සමඟ තහවුරු කර ගැනීමට බලධාරීන් සමත්ව තිබෙනවා.

ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවකදී බලධාරීන් අනාවරණය කළේ, 1974 වසරේදී යූටා ප්‍රාන්තයේදී ඝාතනයට ලක්වූ 17 හැවිරිදි මෙලිසා ඈන් ස්මිත් (Melissa Ann Smith) නැමැති පාසල් සිසුවියගේ මරණයට වගකිව යුත්තේ ටෙඩ් බන්ඩි බව DNA සාක්ෂි මගින් තහවුරු වූ බවයි.

1974 වසරේදී අතුරුදහන් වූ මෙලිසා ඈන් ස්මිත්ගේ සිරුර වන ලැහැබක තිබී දඩයම්කරුවෙකු විසින් සොයාගනු ලැබූ අතර, එතැන් සිට වසර 50 කට අධික කාලයක් තිස්සේ මෙම ඝාතනය විසඳීමට නොහැකි වූ 'Cold Case' ගොනුවක් ලෙස පැවතියා.

සමිට් කවුන්ටි (Summit County) නීතිඥ මාගරට් ඕල්සන් (Margaret Olson) සඳහන් කළේ, විද්‍යාත්මක DNA සාක්ෂිවලට අමතරව, මෙලිසාගේ ඝාතනය සිදුවූ ආකාරය, පෙළඹවීම සහ රටාව (Patte, motive, means and opportunity) ටෙඩ් බන්ඩිගේ ඝාතන රටාවට සම්පූර්ණයෙන්ම සමාන වන බවයි.

මෙම දීර්ඝ කාලීන අභිරහස විසඳීමට හැකිවී ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේදී යූටා කවුන්ටි හිදී විසඳන ලද ටෙඩ් බන්ඩිගේ තවත් ගොදුරක් වූ ලෝරා ඒම් (Laura Aime) ගේ නඩුවේ DNA සාක්ෂි සහ මෙලිසාගේ සිරුරේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ලබාගෙන සුරක්ෂිතව තබා තිබූ සාක්ෂි අතර පැහැදිලි සබඳතාවක් ගොඩනගා ගැනීමට විමර්ශකයන් සමත්වීම හේතුවෙන්.

"මෙම නඩුව මගින් අපරාධ ස්ථානවලින් ලබාගන්නා සාක්ෂි නිසි ලෙස සංරක්ෂණය කිරීමේ ඇති වැදගත්කම මනාව පැහැදිලි කෙරෙනවා," යනුවෙන් සෝල්ට් ලේක් කවුන්ටි ෂෙරිෆ් රෝසි රිවේරා සඳහන් කරනවා.

1970 දශකයේදී අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකදී කාන්තාවන් සහ තරුණියන් 30 කට වැඩි පිරිසක් ටෙඩ් බන්ඩි විසින් ඝාතනය කළ බවට තහවුරු කරගෙන ඇති අතර, තවත් බොහොමයක් කාන්තාවෝ ඔහුගේ ග්‍රහණයෙන් බේරී යාමට සමත් වුණා.

අනතුරුව, 1978 වසරේ ෆ්ලොරිඩා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ (Florida State University) ශිෂ්‍ය සංගම් නිවාසයේදී සිසුවියන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ වරදට 1989 වසරේදී ෆ්ලොරිඩාවේදී විදුලි පුටුවට තබා ඔහුව මරණීය දණ්ඩනයට ලක් කරනු ලැබුවා.

ඔහුගේ අවසන් කාලයේදී පොලිසියට නොදැන සිටි අපරාධ රැසක් පිළිබඳව පාපොච්චාරණය කළද, ඒ සියල්ල තවමත් නිල වශයෙන් තහවුරු කරගෙන නොමැති අතර, බලධාරීන් සඳහන් කරන්නේ ෆ්ලොරිඩා සහ යූටා හැරුණු විට කොලරාඩෝ, අයිඩහෝ සහ වොෂින්ටන් යන ප්‍රාන්තවලද බන්ඩිගේ ගොදුරු බවට පත්වූවන් සිටින බවයි.

මූලාශ්‍රය - CNN
Related recommendation
Hiru TV News | Programmes