Sports08 September 2025

අවුරුදු 19න් පහළ පළමු කොටස අන්තර් පාසල් දෙදින ක්‍රිකට්: ශා. සෙබස්තියන් -රාජකීය අවසන් තරගය අද



ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු කොටස ටියර් ඒ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (8) කොළඹ පී. සරා ඕවල් පිටියේදී ආරම්භ වී තිබෙනවා.

කණ්ඩායම් 18 ක් සහභාගී වූ මෙවර තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සමගින් කොළඹ රාජකීය විද්‍යාලය තරග වදිනවා.

කණ්ඩායම් 18 ක් ‘ඒ’ සහ ‘බී’ කාණ්ඩ 2ක් යටතේ පළමු වටයේදී තරග වැදුණු අතර, සෑම කණ්ඩායමක්ම තරග 8කට සහභාගී වූහ. ප්‍රසාද ලකුණු සටහන අනුව ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට කොළඹ මහානාම විද්‍යාලය සමත්වූ අතර, මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත්වුණා.

‘ඒ’ කාණ්ඩයෙන් තරග වැදුණු කණ්ඩායම් 9 අතුරින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි කොළඹ මහානාම විද්‍යාලය (ඒ1), කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය (ඒ2), ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය (ඒ3) සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය (ඒ4) අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

‘බී’ කාණ්ඩයෙන් තරග වැදුණු කණ්ඩායම් 9 අතුරින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය (බී1), කොළඹ රාජකීය විද්‍යාලය (බී2), බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය (බී3) සහ පසුගිය වර අනු ශූරයින් වූ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය (බී4) අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු වටයේදී තම කාණ්ඩයේ ශූරයින් ලෙසින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර, කොළඹ රාජකීය විද්‍යාලය පළමු වටයේදී එම කාණ්ඩයේම අනු ශූරයින් ලෙසින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

අර්ධ අවසන් පූර්ව වටයේදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය පරදවමින් මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයත්, තම “නිල් මහා සටනේ” සම්‍දායික ප්‍රතිවාදීන් වන ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය පරදවමින් කොළඹ රාජකීය විද්‍යාලයත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබෙනවා.

කොළඹ මහානාම විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර වූ අර්ධ අවසන් පූර්ව තරගයේදී ඇති වූ සිදුවීමක් හේතුවෙන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය ගනු ලැබූ තීරණයට එරෙහිව කොළඹ මහානාම විද්‍යාලය අධිකරණයේ සහාය පැතීම නිසා තරගාවලියේ කොළඹ රාජකීය විද්‍යාලය සහ පසුගිය වර අනු ශූරයින් වූ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර වු අවසන් තරගය මාස කිහිපයකට පසුව පසුගිය සතියේදී පැවැත්වීමට නටයුතු යොදා තිබුනි. එම අවසන් පූර්ව තරගයේදී පසුගිය වර අනු ශූරයින් වූ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරදවමින් කොළඹ රාජකීය විද්‍යාලය අවසන් තරගයට සුදුසුකම් ලබා තිබෙනවා.

මෙම අවසන් තරගයේදී මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාල පිල රයන් දිසානායක විසින් මෙහෙයවනු ලබයි. කොළඹ රාජකීය විද්‍යාලයේ නිත්‍ය නායක රමිරු පෙරේරා මෙන්ම විමාත් දින්සර ශ්‍රී ලංකා යොවුන් පිල නියෝජනය කරමින් බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි තරග සංචාරයක නිරතවීම නිසා රාජකීය පිල මෙහෙයවීමේ වගකීම රෙහාන් පීරිස් වෙත පැවරී තිබෙනවා.

මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සමගින් කොළඹ රාජකීය විද්‍යාලය පළමු වටයේදී තරග වැදුණු අතර, එහිදී ඉනිමක ජයක් ලබා ගැනීමට ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සමත්වුණා.

මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයීය සංචිතය: රයන් දිසානායක (නායක), අදේෂ් අල්මේදා (උප නායක), නවෝද් ප්‍රනාන්දු, උෂේන් සිල්වා, මලින්ත සිල්වා, කවීෂ පෙරේරා, ෂෙෆාන් ප්‍රනාන්දු, කොෂේන්ද්‍ර ප්‍රනාන්දු, ෂෙනූෂ් ප්‍රනාන්දු, ආකාෂ් දිසානායක, මෙසොන් ෆර්ඩිනැන්ඩෝ, ෂෙනාස් හසේන්, ලෂේන් ප්‍රනාන්දු, රිසිනු ප්‍රබේෂ්, සෙන්දිනු පීරිස්, ෂෙනොන් ද සිල්වා, කනිෂ්ක පෙරේරා (ක්‍රිකට් භාර ආචාර්ය), පසන් වනසිංහ (ප්‍රධාන පුහුණුකරු), මොහොමඩ් අසාර් (සහාය පුහුණුකරු). පුබුදු ප්‍රභාත් (සහාය පුහුණුකරු), කැළුම් පෙරේරා (සහාය පුහුණුකරු)

කොළඹ රාජකීය විද්‍යාලයීය සංචිතය: රමිරු පෙරේරා (නිත්‍ය නායක), රෙහාන් පීරිස් (නායක), රනුක මලවිආරච්චි, යසිඳු දිසානායක, ඉසුල ගීගනගේ, යෙනුල බණ්ඩාර, විමත් දින්සර, කාලීඩ් රහීම්ඩීන්, හිරුන් ලියනාරච්චි, සඳුල් අබේවර්ධන, රයන් සුගතදාස, අනුෂ් පොලොන්නෝවිට, කුචිල රන්මණ්ඩල, ෂේන් අබේරත්න, දුෂේන් උඩවෙල, තරුල් අම්පෙමොහොට්ටි, චනිතු කංකානම්ගේ, තෙවිඳු වේවැල්වල, අනික් ප්‍රනාන්දු, උදන්ත ගඟේවත්ත, සඳුන් වීරසූරිය (ක්‍රිකට් භාර ආචාර්ය), ගාමිණී පෙරේරා (ප්‍රධාන පුහුණුකරු), චරිත් ප්‍රනාන්දු, (සහාය පුහුණුකරු)
Related Recomands
Hiru TV News | Programmes