Sports29 September 2026

ආසියාවම දිනූ රන් පුතු රුමේෂ් හෙට දිවයිනට

සිය හෙල්ලයේ එල්ලයෙන් ලොවක් මෙල්ල කළ හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංග ඊයේ (28) ආසියාවත් ජයගත්තා.

ඒ ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම ලක්මවට දිනා දෙමින්.

වර්ෂාව මධ්‍යයේ වුවද අභියෝගය අත්නොහැරි රුමේෂ් තම අවසන් උත්සාහයේදීත් හෙල්ලය මීටර් 88.55ක දුරක් විසි කරමින් ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනාගත්තා.

ඊයේ රාත්‍රියේ නිමා වූ තරගයේ පදක්කම් පිරිනැමීමේ අවස්ථාව අද පස්වරුවේ පැවැත්වුණා.

ඒ අනුව ලක්මව ආසියානු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ දිනාගත් 13 වන පදක්කම මෙලෙස රුමේෂ් වෙත පිරිනැමුණා.

එහි රිදී සහ ලෝකඩ පදක්කම් ද්විත්වයම ඉන්දීය ක්‍රීඩකයින්ට හිමිවුණා.

ඒ අනුව පොදුරාජ්‍ය මණ්ඩලයීය ශූරතාව, ඩයමන්ඩ් ලීග් ශූරතාව, වර්ල්ඩ් අල්ටිමේට් ශූරතාව මෙන්ම ආසියානු රන් පදක්කමද ලක්මවගේ ගෙල පැළදීමට සමත් වූ රුමේෂ් තරංග හෙට දිවයිනට පැමිණීමට නියමිතයි.
Related Recomands
Hiru TV News | Programmes