Sports03 October 2026

කෙල්ලන් රිදියෙන් එසවෙද්දී කොල්ලන්ට ලෝකඩයෙන් යන්තම් සැනසෙන්න වෙයි

ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් තරගාවලියේ ලෝකඩ පදක්කම දිනාගෙන තිබෙනවා.

ඒ, අද (03) පැවති තෙවැනි ස්ථානය සඳහා වූ තරගයේදී බංග්ලාදේශය ලකුණු 63කින් පරාජයට පත් කරමින්.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 165ක් රැස් කළා.

ශ්‍රී ලංකා ඉනිමේ කැපී පෙනෙන පිතිහරඹයක් දියත් කළ තරිඳු රත්නායක පන්දු 32කදී ලකුණු 65ක් රැස් කළේ හතරේ පහර 7ක් සහ හයේ පහර 5ක් සමගින්.

ලකුණු 166ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 17.3කදී සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 102ක් පමණයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නුවන් තුෂාර ලකුණු 18කට කඩුලු 3ක් දවාගත් අතර, තරිඳු රත්නායක කඩුලු 2ක් දවා ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකාව ලකුණු 63ක ජයග්‍රහණයක් සමග ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ තෙවැනි ස්ථානය හිමිකර ගනිමින් ලෝකඩ පදක්කම දිනාගත්තා.

පසුගියදා පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
Related Recomands
Hiru TV News | Programmes