Sports06 October 2026

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ස්ම්‍රිති මන්දනාට

දීර්ඝ කාලයක් ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවූ හර්මන්ප්‍රීට් කෞර් එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ, කණ්ඩායමේ නව නායිකාව ලෙස ප්‍රමුඛ පෙළේ ආරම්භක පිතිකාරිනී ස්ම්‍රිති මන්දනා පත්කර තිබෙනවා.

2013 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් වරම් ලැබූ මන්දනා, මීට පෙර උපනායිකාව ලෙස කටයුතු කර ඇති අතර විස්සයි20 තරඟ 18 කදී සහ එක්දින තරඟ 4 කදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවා තිබෙනවා.

වමතින් පිත්ත හසුරුවන මෙම සුපිරි ක්‍රීඩිකාව මෑතකදී හිටපු නායිකා මිථාලි රාජ් පසුකර යමින් ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ලාභිනිය බවටද පත් වූවා.

එමෙන්ම ජාත්‍යන්තර තරග රටා සියල්ලෙන්ම ශතක 18 ක් රැස්කරමින් කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ශතක ප්‍රමාණයකට හිමිකම් කීමටද ඇය සමත් වුණා.

කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) තරගාවලියේදී 'රෝයල් චැලෙන්ජර්ස් බෙන්ගලූරු' (RCB) කණ්ඩායම ශූරතාව කරා දෙවරක්ම මෙහෙයවීමටද ඇය සමත් වීම විශේෂත්වයක්.

තමන් වෙත පැවරුණු නව වගකීම පිළිබඳව අදහස් දක්වමින් ස්ම්‍රිති මන්දනා සඳහන් කළේ, ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමට ලැබීම තමන්ට ලැබුණු විශේෂ ගෞරවයක් බවයි.

මෙතෙක් කල් නායිකාව ලෙස හර්මන්ප්‍රීට් කෞර් දැක්වූ කැපවීම සහ දායකත්වය අගය කළ ඇය, මෙම නව වගකීම මැනවින් ඉටුකරමින් ඉන්දීය ක්‍රිකට් ඉදිරියට ගෙන යාමට උපරිමයෙන් කටයුතු කරන බව ප්‍රකාශ කළා.

ඉන්දියාව සහ සිම්බාබ්වේ අතර තරඟ 3 කින් සමන්විත විස්සයි20 සහ එක්දින ක්‍රිකට් තරඟාවලිය ඔක්තෝබර් 16 වනදා ආරම්භ වන අතර, මන්දනාගේ නායකත්වය යටතේ ඉන්දීය කණ්ඩායම මුහුණදෙන පළමු තරඟාවලිය මෙයයි.
Related Recomands
Hiru TV News | Programmes